මිලින්ද මොරගොඩගේ “කැබිනට්” පත්වීම පිලිගන්න ඉන්දියාව බෑ කියයි

ඉන්දුයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්වීම කැබිනට් ඇමති මට්ටමේ පත්වීමක් ලෙස පිළිගත නොහැකි බව ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය දැනුම් දී ඇත. එබැවින් කැබිනට් ඇමති  තත්ත්වය යන යෙදුමෙන් තොරව නව ලිපියක් ඉදිරිපත් කරන ලෙස ඒ මහතාට දැනුම් දීමක් කර ඇති බව ද වාර්තා වෙයි.

නව දිල්ලි නුවර සිටින කිසිදු විදේශ තානාපත්වරයකුට හෝ මහ කොමසාරිස් වරයකුට ඉන්දියාව මෙබඳු කැබිනට් පිළිගැනීමක් ලබා දී නැත. එමෙන් ම කිසිදු රටක ශ්‍රී ලංකා තානාපති නිලධාරියකුට ද මේ ආකාරයේ පත්වීමක් ලබා දී නැත.

කැබිනට්  තත්ත්වයේ පත්වීමක් යන්නෙන් කුමක් අදහස් වන්නේ ද යන්න පැහැදිලි නැති බවත්, ඇමති මණ්ඩලය හැරුණු විට වෙනත් කැබිනට් මට්ටමේ නිලධාරීන් පත් කිරීම සඳහා ප්‍රතිපාදන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති බවත් තතු දත් අංශ ප්‍රකාශ කරයි.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කොට වසරකට වැඩි කලක් ගත වී ඇතත්, ඒ මහතා වැඩ භාර ගැනීමට නව දිල්ලි නුවරට නොගොස් සිටියේ ද මෙම පත්වීම කැබිනට් මට්ටමේ පත්වීමක් ලෙස පිළිගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම නිසා ය. මේ වනවිට මොරගොඩ මහතා නව දිල්ලියට ගොස් ඇතත්, තවමත් ඔහුට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම ලබා දී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *