සීනි කොරෝනා පොකුරු – අනුර කේ එදිරිසූරිය 

 

1970-77 සිරිමා බණ්ඩාරනායක පාලන සමය හැඳුන්වූයේ ” පෝළිම් යුගය ” යනුවෙනි. වත්මන් තරුණ පරපුරට ආගන්තුක නමුත් එකල : හාල් පෝළිම් , පාන් පෝළිම් ආදි බොහොමයක් පෝළිම් තිබුණි. පෝළිම් යුගය සිහියට නැඟුණේ ඊයේ පෙරේදා සීනි පෝළිම් දැකීමෙනි. මේ මෑත කාලයේ අප දුටු පළමු පෝළිම නොවේ. ආසන්නතම පෝළිම ගෑස් පෝළිමය. ආණ්ඩුවට හිතවත් චනල්වල ජනයා සීනි දුන්නාට ආණ්ඩුවට ස්තුති කළ අතර පෞද්ගලික නාලිකාවල ජනතාව සීනි මිල වැඩිවීම සීනි හිඟවීම ගැන කළකිරීමෙන් කතා කළහ.

සතොස අඩුමිලට සීනි දෙන බව කීවද සතොස හැම තැනම ඇත්තේ නැත. සතොසට අමතරව සමූපකාර මගින්ද අඩුමිලට සීනි සපයන බව ආණ්ඩුව කීවද මෙරට මේවන විට සමූපකාරද බහුල නැත. ක්‍රියාත්මක  සතොස සහ සමූපකාර වෙළෙඳසල් පවා ඇත්තේ නගරබදවය. ඒ ඇති සතොස සහ සමූපකාර වලින්ද සැපයෙන්නේ එක් අයකුට සීනි කිලෝවක් පමණි. පස් දෙනකුගෙන් යුතු සාමාන්‍ය  පවුලකට දිනකට කොපමණ  සීනි ප්‍රමාණයක් අවශ්‍යද? ඒ ගැන අදහසක් දැනගැනීමට ⁣ආචාර්ය ගුණවර්ධනද නැත. කෙනකු කියනු පෙනුණේ ,  කොරෝනා නිරෝධායනයේ පසුවන අසල්වැසි නිවසේ අයට රැගෙන යාමටවත් අමතර සීනි කිලෝවක් මිලදී ගැනීමට නොහැකි වූ බවය. අඩුමිලට සීනි කිලෝවක් හෝ ගත හැක්කේ සතොසින් සහ සමූපකාරයෙනි. කිලෝවක් සෑහෙන්නේ නැතිනම් අඩුව වෙනත් කඩයකින් වැඩි මිලට මිලදී ගන්නට සිදුවේ.සතොසක් සමූපකාරයක් අසලක නැති ජනතාවට සීනි කිලෝවේ සහනයවත් ලැබෙන්නේ නැත. එසේ ගත් කල සීනි ප්‍රශ්නයේදී ආණ්ඩුව  රටේ ජනතාවගෙන් කොටස් දෙකකට ආකාර දෙකකින් සළකමින් සිටී. එයද අනුමත කළ  නොහැකිය.

මේ වන විට ආණ්ඩුව සීනි සඟවා ඇති තැන් පීරමින් වටලමින් සිටී.එයද අමුතු ආකාරයේ වැටලීමකි. වටලා අත්අඩංගුවට ගන්නා  සීනි රාජසන්තක කරනවා නොව කරන්නේ මිලදී ගැනීමකි. ආනයනකරුට අලාබ කරන්නටද ආණ්ඩුව සූදානම් නැත. පාරිභෝගිකයා කෙසේ වුව ව්‍යාපාරිකයා රැකගැනීම ආණ්ඩුවේ පිළිවෙතය. මේ බව වඩාත් තහවුරු වන්නේ මහා පරිමාන සීනි බදු වංචාවක් ගැනද සඳහන් වන බැවිනි.එක් වතාවක් ආණ්ඩුව සීනි සඳහා බදු අඩුකර ව්‍යාපාරිකයාට අනුග්‍රහයක් දැක්වීය. දැන් සූදානම් වන්නේ එසේ ⁣බදු සහන යටතේ ගෙන්වූ සීනි ආණ්ඩුවේ මුදල් යොදවා වැඩි මිලට මිලදී ගන්නටය. ආණ්ඩුව එක පැත්තකින් බදු සහන මගින් භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදලක් අහිමි කළේය. එනම් ජනතාව අතට , ( භාණ්ඩාගාරයට ) ලැබිය යුතු මුදලක් ලාච්චුවේ දමාගන්නට ව්‍යාපාරිකයාට අවස්ථාව දුන්නේය. එම බදු සහනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබුණේ නැත. බදු සහනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබුණේ නම් සීනි මිල පහළ බැසිය යුතු නමුත් දිගින් දිගටම සීනි මිල ඉහළ ගියේය. වසර දෙකකට පමණ පෙර රුපියල් 85ක්ව පැවැති සීනි කිලෝව මිලදී ගැනීමට රුපියල් 220ක් වැයකරන්නට මේ ලියන මොහොත වන විට පාරිභෝගිකයාට සිදුවී තිබේ. එසේ තිබියදී ආණ්ඩුව දැන් නැවතත් සූදානම් වන්නේ ජනතාවගේම මුදල් යොදවා ව්‍යාපාරිකයන්ට ලාභදායී ලෙස වැඩි සීනි මිලදී ගැනීමටය. බදු නොලැබීමේ පාඩුවත් ජනතාවටය. සීනි මිල වැඩිවීමේ බරත් ජනතාව මතය.

බදු සහනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබුණේ නම් සීනි මිල පහළ බැසිය යුතු නමුත් දිගින් දිගටම සීනි මිල ඉහළ ගියේය. වසර දෙකකට පමණ පෙර රුපියල් 85ක්ව පැවැති සීනි කිලෝව මිලදී ගැනීමට රුපියල් 220ක් වැයකරන්නට මේ ලියන මොහොත වන විට පාරිභෝගිකයාට සිදුවී තිබේ. එසේ තිබියදී ආණ්ඩුව දැන් නැවතත් සූදානම් වන්නේ ජනතාවගේම මුදල් යොදවා ව්‍යාපාරිකයන්ට ලාභදායී ලෙස වැඩි සීනි මිලදී ගැනීමටය. බදු නොලැබීමේ පාඩුවත් ජනතාවටය. සීනි මිල වැඩිවීමේ බරත් ජනතාව මතය.

ජනතාව මුහුණ දෙන එකම ගැටලුව සීනි පමණක් නොවේ.වසර 2020 මුල් භාගයේ රුපියල් 135කට පමණ මිලදී ගැනීමට හැකිව තිබූ පරිප්පු කිලෝවක අද මිල රුපියල් 250කි. පරිප්පු කිලෝවකට ආණ්ඩුව පාලන මිලක් නියම කර තිබුණද ආණ්ඩුවේ සතොසේවත් ඒ මිලට පරිප්පු නොතිබුණු බව ජනතාව දනිති.රුපියල් 100ට ⁣දෙන බව කී සැමන් රුපියල් 220ට පමණ විකිණී මේවනවිට මිල රුපියල් 350කි. කහ මිල සම්බන්ධයෙන් කතා කිරීමත් දැන් සියල්ලන් නවතාදමා ඇත. මුං , කවුපි ආනයය නවතා දැමුවේ මෙරට ගොවියා ශක්තිමත් කිරීමට කියා වුව දැන් සිදුව ඇත්තේ මුං, කවුපි ධනවතුනට පමණක් සීමාවූ සුඛෝපභෝගී ආහාරයක් බවට පත්වීමය.

පොල්තෙල් සම්බන්ධයෙන්ද කිය හැක්කේ එයමය.  පිළිකාකාරක අඩංගු  පොල්තෙල් වෙළෙඳ පොළව පැමිණීමෙන් වික්ෂිප්තව සිටින ජනතාවට පොල්තෙල් මිලද දරාගත නොහැකිය.පොල්තෙල් මිලෙහි බලපෑමෙන් වඩේ, රෝල්ස් , පැටිස් පමණක් නොව රටකජු ඇටයේ, මුරුක්කුවේ, මඤ්ඤොක්කා පෙත්තේ  පවා මිල ඉහළ ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට මතකයක් හෝ විසඳුමක් හෝ නැත.

සීනි ප්‍රශ්නය කෙරෙහි මෙන් ආණ්ඩුව මැදිහත් වූ තවත් ප්‍රශ්නයක් වන්නේ සහල් මිලයි.සැඟවූ සහල් සොයා ආණ්ඩුව මෝල් පරික්ෂා කළේ ඈතක නොවේ . හාල් සඳහාත් පාලන මිලක් ගෙනා නමුත් හාල් මිල ඉහළ නැග්ගේ ගැසට්ටුවත් අතේ අරගෙනය. සහල් ම්ල පාලනයට ආණ්ඩුව ගත් ඊළඟ පියවර වී සඳහා උපරිම මිලක් නියම කිරීමය.  දැන් ගොවියාට වී සඳහා මිලක්ද නැත; පාරිභෝගිකයාට සහල් මිල සහනයක්ද නැත.

එක්තරා කාලයක තිරිඟු පිටි මිල ඉහළ නැංවූයේ, තිරිඟු පිටි කෑම ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් සහල් පරිභෝජනය⁣ට ජනතාව හුරු කරන්නට යැයි කියමිනි. දැන් ජනතාවට සහල් නැත්නම් පාන් කන්නටත් හැකියාවක් නැත. හාල් සේම පානුත් මාළු පානුත් බනිසුත් මිලෙන් ඉහළය. කේක් කිලෝව රුපියල් 100කින්  ඉහළ නැඟ ඇති බැවින් පාන් නැතිනම් කේක් කන්නටද ජනතාව⁣ට නොහැකිය. කිරි පිටි වැඩි මිලට වත් වෙළෙඳ පොළේ නැත.ලාෆ් ගෑස් මිල ඉහළ නංවා ඇතත් ගෑස් ඇත්තේ නැත. ලාෆ් ගෑස් සිලින්ඩරයේ පැහැය වෙනස්කර ලිට්රෝ මිලදී ගෙන කළ වංචාවක් ගැන පුවතක් පළවිය. ඉන් පෙනීයන්නේ ගෑස් ප්‍රශ්නයෙන් ජනතාව කොතරම් හෙම්බත්ව සිටීද යන්නය.

ලිපිය අවසන් කරන විට ලැ⁣බුණු තොරතුරු අනුව ආණ්ඩුව,  සුදු සීනි  කිලෝවකට රුපියල් 122ක් , පැකට් කළ සුදු සීනි කිලෝවක් රුපියල්  125ක් වශයෙන්ද දුඹුරු සීනි සඳහා රුපියල් 125ක් හා පැකට් කළ දුඹුරු සීනි 128ක් වශයෙන් මිල නියම කර ඇත. කීරි සම්බා කිලෝවක නව පාලන මිල රුපියල් 125කි. රතු සහ සුදු නාඩු කිලෝව රුපියල් 98කි. මෙකී මිල ගණන් වලට කොපමණ ප්‍රමාණයක් මිලදී ගත හැකිද යන්න පැහැදිලි නැත. මෙකී පාලන මිල සතොසට සහ සමූපකාර සඳහා පමණක් නම් ඉන් පොදුවේ ජනතාවට සිදුවන ප්‍රතිලාභයක්ද නැත. ඉහත කී ආකාරයට සතොස සහ සමූපකාර බහුල නොවන බැවිනි. එහෙයින්ම  සතොස සහ සහ සමූපකාර මිලට භාණ්ඩ ලබා ගැනීමට සියල්ලන්ටම අවස්ථාව නොලැබෙන බැවිනි. ප්‍රශ්නය නියමාකාරයෙන් විසඳීම⁣ට නම් ගමේ කඩයේත්  පාලන මිලට ඇති තරම් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබිය යුතුය. එසේ නොවන්නේ නම් ජනතාවගෙන් කොටසකට අසාධාරණයක් සිදුවේ. එමෙන්ම සතොස   සහ සමූපකාර කොරෝනා පොකුරු ඇතිකරන මධ්‍යස්ථාන බවට පත්වීමටද එමඟින් අවකාශ සැලසේ.

සතොස සහ සහ සමූපකාර මිලට භාණ්ඩ ලබා ගැනීමට සියල්ලන්ටම අවස්ථාව නොලැබෙන බැවිනි. ප්‍රශ්නය නියමාකාරයෙන් විසඳීම⁣ට නම් ගමේ කඩයේත්  පාලන මිලට ඇති තරම් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබිය යුතුය. එසේ නොවන්නේ නම් ජනතාවගෙන් කොටසකට අසාධාරණයක් සිදුවේ. එමෙන්ම සතොස   සහ සමූපකාර කොරෝනා පොකුරු ඇතිකරන මධ්‍යස්ථාන බවට පත්වීමටද එමඟින් අවකාශ සැලසේ.

අනුර කේ එදිරිසූරිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *