මැයි දිනය හා කම්කරුවා ගැන අම්මට සිරි වෙන ගැඹුරු දේශපාලන විග්‍රහයක් – අජිත් පැරකුම් ජයසිංහ

 

 images
දැන් වසර කීපයක සිට මම මැයි පෙළපාලි, රැස්වීම්වලට යන්නේ නැත. අවසාන වශයෙන් යමින් සිටියේ ගුරුවරයකු ලෙස වැඩ කරද්දී ලංකා ගුරු සංගමය සහභාගි වූ මැයි රැළියටයි.

ගුරුවරයකු ලෙස සිටි කාලයේත්, දැනුත් මම ශ්‍රමය පමණක් හිමි කම්කරුවෙක්මි. මම කිසි දිනෙක සුපරීක්ෂකයකු ලෙස හෝ වැඩ කර නැත. මගේ යටතේ වැඩ කරන අයෙකු සිටින්නේ නම් ඒ මගේ ගෘහ සේවිකාව පමණි. ඇය බොහෝ දුරට අපේ පවුලේ හිතවතියක වැනි ය. සාමාන්‍යයෙන් ගෘහ සේවිකාවන්ට ලංකාවේ ගෙවන වැටුප මම ඇයටත් ගෙවමි. එහෙත්, අප ඇය සූරා කන්නේ ද යන ප්‍රශ්නය මට ඇත. ඇයට ඊට වඩා වැටුපක් ගෙවන්නට මට හැකියාවක් නැත.

මට වෘත්තීය සමිතියක් නැත. මා වැඩ කරන තැන ස්ටාෆ් ඇසෝසියේෂන් එකක් නම් තිබේ. මා එහි සාමාජිකත්වය ගැනීම ගැන සිතා නැත.

මා ජීවත් වන්නේ මගේ ශ්‍රමය විකුණා ය. මා පුහුණු ශ්‍රමිකයකු නිසා මගේ ශ්‍රමයට ඉල්ලුමක් තිබේ. ඒ අනුව මම තරගකාරී මිළක් පවත්වාගෙන යමි. මා වැඩ කරන්නේ ශ්රම කොන්ත්‍රාත් මත ය. මට රැකියා සුරක්ෂිතභාවයක් නැත. එහෙත්, ජීවත් වීම සඳහා වැඩක් සොයා ගැනීම මට එතරම් දුෂ්කර නැත.

මගේ ආදායම මගේ වර්තමාන වියදම් රටාව සඳහා ප්‍රමාණවත් ය. මගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා නම් යම් ඉතුරුමක් මට අවශ්‍ය ය.

මා මගේ සංස්කෘතිය සකසාගෙන තිබෙන්නේ මගේ ආදායමට සරිලන පරිදි ය. නිතර, නිතර හොඳ හෝටල්වලින් කන්නට මට සල්ලි නැති නිසා මම එය නො කරමි. එසේම, රට රටවල් බලන්නට යන්නට ආසාවන් ඇති කර නො ගනිමි. සාමාන්‍ය ඇඳුම් අඳිමි. මගේ දුරකථනය සාමාන්‍ය එකකි. මගේ වාහනය ඉන්දියාවේ හැදූ අඩු මිළ එකකි. එය විශේෂ ගමන් බිමන් සඳහා මගේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් ය. මමත්, මගේ බිරියත් වැඩට යන්නේත්, දරුවන් පාසල් යන්නේත් පොදු ප්‍රවාහන සේවාවල ය. ලෙඩ නො වී සිටිය යුතු නිසා මම දුම්, මත්පැන් බොන්නේ සුවිශේෂ විනෝද අවස්ථාවලදී පමණි. ලෙඩ වුණොත් ප්‍රතිකාර ගන්නේ රජයේ රෝහල්වලිනි. ඒ වෙනුවෙන් අප බදු ගෙවා තිබේ. අමාරු ලෙඩක් හැදුණොත් මරණය භාර ගත යුතු බව මම දනිමි.

මට සාමාන්‍ය නිවසක් ඇත. එය කලාගාරයක් නො වේ. එහි සාමාන්‍ය ගෘහභාණ්ඩ ඇත. මා ජීවත් වන්නේ ගමක ය. වැඩ කරන්නේ අගනුවර ය. අගනුවර නැවතී රැකියාවට යන්නට තරම් මගේ ආදායම ප්‍රමාණවත් නැත. මම ගමට කැමති ය. එහි ගස්කොළන් ඇත. ගම ය කීවාට එහි ජීවිතය නාගරික ය.

මට ප්‍රශ්න තිබේ. ගමනාගමනය බරපතල ප්‍රශ්නයකි. දුම්රියෙන්, බස්රියෙන්, යතුරුපැදියෙන් හා පයින් යන සිව් ආකාරයෙන් දිනපතා වැඩට යාම දුෂ්කර ව්‍යායාමයකි. බස්වල යන සිංදු ද බරපතල ප්‍රශ්නයකි. මාර්ග තදබදය අපේ ජීවිත කාලය කයි. දෙකොණ ගැට ගසා ගන්නට අමතර වැඩ ද කරන්නට සිදු වී තිබේ. දරුවන් සමග සිටින්නට කාලය සොයා ගන්නේ මහත් අසීරුවෙනි.

දරුවන්ට සාමාන්‍ය පාසල් ඇතත්, ඒවායේ උගන්වන දේවල හා දරුවන් තුළ ගොඩනගන ආකල්පවල බරපතල ගැටලු තිබේ.

ආගම්, ජ්‍යෝතිෂය, සිංහල වෙදකම් සමග මගේ කිසිදු සම්බන්ධයක් නැත. එහෙත්, පන්සලේ ලවුඩ්ස්පීකරය මාර කරදරයකි.

ගෙදර එක් රැස් වෙන පොලිතින්වලට කරන්නට දෙයක් නැතිකම තවත් ප්‍රශ්නයකි.

නාට්‍යයක්, චිත්‍රපටයක්, පොතක්, චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්නට, සංගීතය අහන්නට විවේකයක් සොයා ගන්නේ අසීරුවෙනි.

එහෙත්, මේ අතරතුර රටේ දේශපාලන වෙනස්කම් ඇති කිරීම වෙනුවෙන් මම මෙම බ්ලොගය ලියමි. එහි සංවාද ඇති කරමි. මම හොඳ කම්කරුවෙක් මි. සමාජ වෙනස්කම් වෙනුවෙන් දේශපාලනය කරන ව්‍යාපාරවලට මට වඩා හොඳ කම්කරුවන් සොයා ගන්නට බැරි වෙන්නට පුළුවන.

එහෙත්, මට නිදහස් සිතුවිලි තිබේ. එබැවින් මම ප්‍රශ්න කරමි. හරි යයි මට ඒත්තු යන දේ කිරීමට මම කිසි විටෙක පසුබට නො වෙමි. මගේ කට නොව පෑන හොඳ නැති නිසා කිසිවෙක් මට දේශපාලනය කරන්නට කතා කරන්නේ නැත.

කම්කරුවකු ලෙස මගේ තත්වය එයයි.

අපේ ගෙවල් පාරේ ඉන්න තරුණ ඇඟලුම් සේවිකාවගේ තත්වය ද තරමක් දුරට මෙවැනි ය. මම ගුරුවරයකු ලෙස ඉපැයූ වැටුපට වඩා වැටුපක් ඇයට ලැබේ. ඇය වැඩට යන්නේ, එන්නේ ඇය රැගෙන යන්නට එන බසයෙනි. සෙනසුරාදා හවස් වරුවේ හා ඉරිදා දිනවල ඇය සිය පෙම්වතා සමග ගමන් බිමන් යයි. අදත් ඇය ලස්සන ඇඳුමක් ඇඳ ජංගම දුරකථනයත් කණේ ගසාගෙන කොහේ හරි ගියා ය. මැයි රැළියකට නො වන බවට නම් ඕනෑ ඔට්ටුවක් ඇල්ලිය හැකි ය.

වත්තේ දළු කඩන රංජනී අද පාට් ටයිම් දළු කැඩිල්ලකට ගොස් ය. වත්ත හිමි රජයේ නිලධාරි මහතා ඇය කැටුව යාමට ගෙදර ළඟට ම ඩබල් කැබ්බෙක එවා තිබිණි.

මැදපෙරදිග ගෘහ සේවිකා සෝමලතාගේ සැමියා උදේම කට ගොන්නක් බීගෙන කොහේ ද ගියේ ය. පාරේ බස් වගයක් නවත්වා තිබිණි. ඒවා යන්නේ කිරුළපනට ද, ගාල්ලට ද, කොළඹට ද යන්න මම සෙව්වේ නැත.  ඌ වුණත් ඒක නො සොයන්නට ඉඩ ඇත.

හොස්පිටල් එකේ වැඩ කරන විමලයා රතු කමිසයක් ඇඳගෙන නහයට කෙළින් බලාගෙන පොර වගේ ඔය ගියේ. රෝහලේදී නම් උෟ ලවා රෝද පුටුවක්වත් තල්ලු කරවා ගත නො හැකි ය. ඌ කියන්නේ ඒවා සාමාන්‍ය කම්කරු වැඩ කියා ය. ඌ ඇටෙන්ඩන්ට් ය.

අජිත් යයි මේසන් බාස් කෙනෙක් ද අපේ ගමේ සිටියි. ඔහු නම් අදත් ගෙදරක වැඩ ය. “අපි හවසට මැයි දිනේ සමරනවා. මහත්තයත් ඕනැ නං එන්න.” උන් වගේ ඩේලි බොන්නට තරම් ආදායමක් මට නැත.

අද කොළඹ යනවාට වඩා පොඩිවුන් එක්ක ඉන්න එක හොඳ ය. අද මැයි දිනය විතරක් නොව ඉරිදා ය.

අපේ ගෙවල් ළඟ ඉන්නා රජයේ කළමනාකරණ සහායකවරියක් මට විශේෂ කර්තව්‍යයක් භාර දුන්නා ය. ඒ හෙට දිනය නිවාඩුදැයි යන්න අන්තර්ජාලයෙන් සොයා දන්වන ලෙස ය. අදත් දරුවන් දහම් පාසල් හා පංති ගෙන යාමට ඇති නිසා ඇයට ප්‍රවෘත්ති අහන්නටවත් වෙලාවක් නැත. “දන්නැද්ද ඉතින් මේ අවුරුද්දෙ අපේ දරුවා පහේනෙ.”

කම්කරුවන් වන අප ගැන කොළඹ එහෙම මැයි දින කරන අය මොනවා දන්නවාදැයි මම නො දනිමි.

(අජිත් පැරකුම් ජයසිංහගේ W3Lanka බ්ලොග් අඩවියෙනි )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *