ජනාධිපතිගේ හදිසි නීති නියෝග සඳුදා පාර්ලිමේන්තුවේ අනුමැතියට

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් පසුගීය සඳුදා ප්‍රකාශයට පත් කළ හදිසි නීති නියෝග ලබන සඳුදා ( 6 දා ) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අද පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපති කරන නියෝගයක් රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමක් ලෙස සැලකෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දින 14 ක් තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතු ය. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ය.

ඒ අනුව ලබන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙම නියෝග අඟහරුවාදා සම්මත කර ගැනීමට නියමිත ය.

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම සඳුදා (6) සහ අඟහරුවාදා (7 ) දින දෙකට පමණක් සීමා කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *