රට අරාජික වීම දැන් නවත්තන්න බැහැ ; ඊට පසු කරන දේට සුදානම් වෙමු – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රටේ දේශපාලනයේ දැන් පවතින ප්‍රවණතා අනුව රට ආරාජික තත්ත්වයට ගමන් කිරීම වැළක්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි යන්න තමාගේ තක්සේරුව බවත්, ලබන වසර මැද වනවිට එම තත්ත්වය බරපතළ වනු ඇති බවත්, එය වළකා ගැනීමට හැකියාවක් දැන් නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. එබැවින් දැන් සිදු කළ යුතු වන්නේ අර්බුදයෙන් පසු ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමට සුදානම් වීම බවත් ඒ මහතා කී ය.

විද්වත් කණ්ඩායමක් සමග සූම් තාක්ෂනය ඔස්සේ ඊයේ පැවති සාකච්ඡාවක දී රට ආරාජිකත්වයෙන් ගළවා ගැනීමට එජාපයේ වැඩ පිළිවෙළ කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමක දී එජාප නායකයා මේ අදහස් පළ කළේ ය.

එහි දී, රටට දැන් අවශ්‍ය වන්නේ වසර විස්සක් වැනි කාලයක් ක්‍රියාත්මක කළ හැකි ජාතික ප්‍රතිපත්ති මාලාවක් බව කී වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය වැඩ කරන්නේ ඒ සඳහා බවත් කී ය. ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ හුදු ආණ්ඩු විරෝධයකට  එහා ගිය ජාතික ප්‍රතිපත්ති මාලාවක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේ  ය.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා ගමට ගොස් පක්ෂය ගොඩනැගීම ප්‍රයෝගික නොවන බැවින් අන්තර් ජාල පක්ෂයක් ලෙස පක්ෂය ගොඩ නැගීමට කටයුතු කරන බවත්, ලක්ෂයක ක්‍රියාකාරීන් පිරිසක් ගොඩා නගා ගැනීම පක්ෂයේ පළමු ඉලක්කය බවත් කී වික්‍රමසිංහ මහතා අනාගතයට උචිත නවීන පක්ෂයක් එලෙස ගොඩනගන බවත් කී ය.

රටේ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සියයක් පමණ සහභාගී වූ මෙම සාකච්ඡාව සංවිධානය කොට මෙහෙයවන ලද්දේ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රතනප්‍රිය මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *