මැයි දින කෝලම – සී ජේ අමරතුංග

මැයි දිනය කම්කරුවන්ගේ දිනයක් ලෙස සැමරූ කාලයක් තිබුණු බව කියති. සෑම මැයි දිනයකදීම අපි ඒ ගැන මතක් කරමු. සිහිපත් කරමු. එදා හේ මාර්කට් චතුරශ‍්‍රයේ මියගිය කම්කරුවන් ගැන කතා කරමු. වැඩ කරන පැය අට දිනාගත් හැටි ගැන කියමු. එසේ වුවද අද මැයි දිනය සමරන්නේ එදා තිබූ අරමුණු අනුව හෝ කම්කරු පන්තියේ අයිතීන් රැුකීමට හෝ නොවන බව බොහෝ දෙනා දන්නා අවිවාදිත කාරණයකි. මේ දිනය දැන් විවිධ දේශපාලන පක්ෂ යොදාගන්නේ වෙනත් ප‍්‍රශ්න මතු කරන්නටය. තම තමන්ගේ බලය පෙන්වන්නටය. දැන් දශක ගණනක සිට වර්ධනය වී ඇත්තේ එබඳු තත්ත්වයකි.

ඉස්සර මැයි දින පෙළපාලි ගියේ කම්කරුවන් නියෝජනය කරන පක්ෂ හා සංවිධානයි. එහිදී යොදාගත්තේ රතු පාට පමණකි. එසේ වුවද දැන් අප රටේ නිල්පාට හා කොළ පාට මැයි දින රැුලි පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයයි. එම මැයි දිනවල ප‍්‍රධාන අරමුණ නම් තම තමන්ගේ පක්ෂවල ශක්තිය පෙන්වීමයි. ශක්තිය වර්ධනය කිරීමයි.

සීනි නැතිව තේ බොන්නම්

නවසිය හැත්තෑ ගණන් වන විට මේ රටේ වැඩිම කම්කරු පිරිසක් සේවය කළේ රාජ්‍ය අංශයේය. කම්කරුවන් නියෝජනය කරනවා කියූ ප‍්‍රධාන පක්ෂද සිටියේ ආණ්ඩුවේය. එසේ වුවද ඔවුන්ගේ මැයි පෙළපාලි හා රැුලි පවත්වන ලද්දේ රජයට සහය දක්වන්නටය. හාල් පොලූ මිරිස් පොලූ දමා තිබූ, සීනි සලාකයට නිකුත් කළ ඒ යුගයේ ආණ්ඩුවේ මැයි රැුලියේ සටන් පාඨ වූයේ සීනි නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම් වැනි කතාය. එම පෙළපාලිවල කියැවුණේ මැතිනිය (සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය) කියනවා නම්  ඕනෑ දුකක් විඳින්නට සූදානම් බවයි. කම්කරු අයිතීන් වෙනුවෙන් පැවැත්විය යුතු මැයි දිනය ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් වෙන්වූයේ ඒ ආකාරයෙනි.

එකල ප‍්‍රධාන විපක්ෂයද මැයි දින කළේ කම්කරු අයිතීන් රකින්නට නොවන බවද කිව යුතුය. බඩු මිල, හාල් පොලූ මිරිස් පොලූ ගැන කතා කරමින් ඔවුන්ද කළේ තම බලය පෙන්වීමේ රැුස්වීම්ය. දේශපාලන බලය ලබාගැනීමේ අරගලයයි.
පසුගිය දශක කිහිපයේදීම අපට දකින්නට ලැබුණේ එම තත්ත්වයයි. මැයි දිනය අද සමරන්නේ කම්කරු අයිතීන් ලබාදීමට හෝ ලබාගැනීමට නොවේ. අද මැයි දිනය පවත්වන්නේ දේශපාලන බල අරගලයේ වෙනත් ප‍්‍රශ්න විසඳා ගැනීමටය.

මෙවර මැයි දිනයේදී විසඳාගන්නට යන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ශ්‍රීලනිපයේ බලය පිළිබඳ කාරණයයි. දැන් කාගේත් අවධානය යොමුවී තිබෙන්නේ ශ්‍රීලනිප වැඩි බලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ද නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද යන කාරණයයි. වැඩි සෙනග යන්නේ ගාල්ලටද නැතහොත් කිරුළපනටද යන්නයි. එමෙන්ම මෙම මැයි දිනය ශ්‍රීලනිපය දෙකඩ වීමේ අවස්ථාව බවට පත්වේද යන්නයි.

මෛත්‍රීපාල – මහින්ද සටන

ගාල්ලට යන අයත් කිරුළපන යන අයත් දෙගොල්ලෝම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තටම ආදරේ තමන් බවයි. එසේ වුවද දෙගොල්ලන්ම එකට සිට ආදරය කරන්නට බැරිය. ප‍්‍රශ්නය විසඳාගැනීමට යන්නේ මැයි දිනයේ බලය පෙන්වීමෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙය තීරණාත්මක මොහොතක් බව පැහැදිලි කාරණයකි. පක්ෂය යළි සමගි කළ නොහැකි ලෙස බෙදී යන බවක් පෙනෙන්නට ඇත. මෙම මැයි දිනයෙන් පසුව තමන් බරපතළ තීන්දු කීපයක් ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කොට ඇත. ඇතැම් දේශපාලන විචාරකයන් ප‍්‍රශ්න කරන්නේ එබඳු බරපතළ තීරණ ගැනීමට තරම් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් ශක්තිමත්ද යනුවෙනි. මාර්තු මාසයේ හයිඞ් පාක් රැුලියෙන් පසුවද ජනාධිපතිවරයාට බරපතළ තීරණ ගත නොහැකි විය. එම ඉතිහාසය නැවත ක‍්‍රියාත්මක වේද නැතහොත් මෙවර වෙනත් තත්ත්වයක් ඇතිවේද යන්න මැයි දිනයේ බලය පෙන්වීමේ ප‍්‍රතිඵල ලෙස තීරණය වනු ඇත.

මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වන්නට යන්නේ ඉක්මනින් ආණ්ඩුවක් හැදීමේ සටන් පාඨය ඉදිරියට දමාගෙන වීම මෙහි ඇති හාස්‍යජනක කාරණයයි. මෙයින් එක් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයේ සමග හවුල් ආණ්ඩුවක කටයුතු කරන්නේ අවුරුදු පහක් විපක්‍ෂයේ සිටිනවාට වඩා ආණ්ඩුවකට හවුල් වී රට හදනවා කියමිනි. විපක්‍ෂයේ සිටීමට කැමැත්තක් හෝ වුවමනාවක් ඔවුත් තුළ නැත. අනෙක් පිරිසට අවශ්‍යව තිබෙන්නේ ඉක්මනින් ආණ්ඩුවක් හදන්නටය. තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලය නැතත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති බලය යොදා බහුතරය සාදාගත හැකියැයි ඔවුහු කල්පනා කරති. සිරිසේන මහතාට ජනාධිපති තනතුර ලබාදුන් එජාපයට ඔහු ලවාම කොකා පෙන්වීම මෙම කණ්ඩායමේ ප‍්‍රකාශිත අරමුණයි. එසේ වුවද අතීත දේශපාලනය නම් ඊට වඩා වෙනස් බවක් ද පෙනෙන්නට තිබේ. පක්‍ෂයේ බලය අල්ලාගෙන ජනාධිපතිවරයා රූකඩයක් තත්ත්වයට පත් කරගෙන වෙනත් ගමනක් යාමට ඔවුන්් කැසකවනවා විය හැකිය. කෙසේ වෙතත් මේ වන විට පවතින තත්ත්වය නම් පක්‍ෂයේ බෙදී යාමත් නොවැළැක්විය හැකි වීමයි.

එක් අතෙකින් මෙම තත්ත්වය හේතුවී තිබෙන්නේ ජාතික ආණ්ඩු දේශපාලනයයි. එනම් ප‍්‍රධාන පක්‍ෂ දෙක එක්වී ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ක‍්‍රියා කිරීමයි. රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා මැතිවරණ ක‍්‍රමයක් සකසා ගැනීම ඇතුළු ජාතික අවශ්‍යතාව ඉටුකර ගැනීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙය ක‍්‍රියාවට නැඟිණි. එසේ වුවද එයින් ඇති වූ ව්‍යාකූලතාව මෙම මැයි දිනයේ අවුල දක්වාම වර්ධනය වී ඇත.
පසුගිය මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය ජවිපෙය විස්තර කළේ ‘‘දිනපු පක්‍ෂයට ආණ්ඩුවකුත් නෑ. පැරදුණු පක්‍ෂයට විපක්‍ෂයකුත් නෑ’’ වශයෙනි. එය මෙම දේශපාලන අවුල පිළිබඳව හොඳ විග‍්‍රහයක් බව පෙනෙන්නට තිබේ.

මෙම අවුලට අනෙක් හේතුව නම් ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපති තනතුරට පත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුව එම පක්‍ෂයේ නායකත්වය භාරගැනීමයි. ඉන් පසුව තමන්ට කැමැති ලෙස පක්‍ෂය කරගෙන යාමට ඉඩ ලැබෙනු ඇතැයි තමා කල්පනා කළ බවත්, එහෙම හිරිහැර කරන බව දන්නවා නම් නායකත්වය භාර නොගන්නා බවත් ජනාධිපතිතුමා පසුගියදා ප‍්‍රකාශ කළේය. එතුමා මුහුණදුන් මෙම තත්ත්වය දැන් රටේම දේශපාලන අවුලක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ.

එජාපයේ කැපකිරීම

එක්සත් ජාතික පක්‍ෂය ද දේශපාලන අවුලක සිටින බව පැහැදිලිය. එම පක්‍ෂයේ මැයි දින රැුලිය නම් කොට ඇත්තේ කැප කරන ජනතාවගේ මැයි දිනය වශයෙනි. එහි තේරුම් ගණනාවක් ඇති බව පෙනෙන්නට තිබේ. සාමාන්‍යයෙන් තිබිය යුතු තේරුම නම් තම පක්‍ෂයේ ආණ්ඩුවක් වෙනුවෙන් කැප කිරීමේ සහ ජනතාවගේ රැුලිය වශයෙනි. එසේ වූවාට ඊට වඩා බොහෝ තේරුම් මෙහි ඇති බව පෙනෙන්නට තිබේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වය පරිත්‍යාග කළේ මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන්නට පුළුල් පෙරමුණක් ගොඩනැගීම සඳහා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ජනාධිපති කොට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. කෙසේ වෙතත් පසුව සිදුවූයේ එජාපය සහයදී ගොඩනැගූ ජනාධිපතිවරයා නැවත ශ්‍රීලනිපයට ගොස් තමන්ට ප‍්‍රතිවාදී බලවේග මෙහෙයවනු බලා සිටින්නටය.
පසුගිය මහ මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂයේ අපේක්‍ෂ්කත්වය දුන්නේ එසේ නොකළේ නම් එජාපයට විශාල බලයක් ලැබෙන නිසා බව ඒ මහතා රටට ප‍්‍රකාශ කළේය. ඇතැම් විට එතුමා බලාපොරොත්තු වූයේ එජාපයට වඩා ආසන ප‍්‍රමාණයක් ශ්‍රී ලනිපයට ලබාගත හැකිවනු ඇතැයි කියා විය හැකිය. එසේ සිදුවූයේ නම් මේ කතාව තවත් වෙනස් වන්නට ඉඩ තිබිණි. එජාපය තනි ලෙස වැඩි බලයක් ලබාගත්තේය.

මෙහිදී ද එජාපාක්‍ෂිකයාට සිදුවී තිබෙන්නේ තවත් කැප කිරීමක් කරන්නටය. ආණ්ඩුවක් ලැබිය යුතු පක්‍ෂයට ලැබී තිබෙන්නේ ආණ්ඩු භාගයකි. රටට මතුපිටින් පෙනෙන්නට තිබෙන්නේ එජාපය ආණ්ඩු කරන බවයි. එසේ වුවද ඇත්ත තත්ත්වය එය නොවන බවද පෙනෙන්නට තිබේ.

වරප්‍රසාද අහිමිවීම

හරි වැරද්ද කුමක් වුවද මේ රටේ දේශපාලන සංස්කෘතිය වී තිබුණේ පක්‍ෂයක් පරදා අනෙක් පක්‍ෂය බලයට පත්වූ විට දිනපු පක්‍ෂයේ උදවියට නොයෙක් තානාන්තර ලැබීමත් පරාජිත පක්‍ෂයට සියල්ල අහිමි වීමත්ය. එම බලය මගින් ජයග‍්‍රාහකයන්ට බොහෝ වරප‍්‍රසාද ලබාගත හැකිව තිබිණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවුවද එය මේ රටේ දේශපාලන සංස්කෘතිය ලෙස පැවැතිණි. එසේ වුවද මේ වතාවේ එවැන්නක් සිදුවී නැත. වසර දහයක් දේශපාලන බලයේන් වරප‍්‍රසාද ලබාගත් උදවිය තවමත් එම වරප‍්‍රසාද ලබමින් සිටිති. ආණ්ඩුවක් පිහිටුවීමට උරදුන් පක්‍ෂයේ ආධාරකරුවෝ එදෙස බලමින් හූල්ලමින් සිටිති. ‘‘කැප කරන ජනතාවගේ මැයි දිනය’’ බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ මැයි දින රැුලියයි.

රතු පාටින් ද මැයි රැුලි ගණනාවක් පැවැත්වීම මෙවරද සිදුවනු ඇත. තරමක් බලගතු පක්‍ෂ එය කරන්නේ තම බලය පෙන්වීම සඳහාය. අනෙක් කණ්ඩායම්ද තම තමන්ගේ බලය පෙන්වීම හා අනුගාමිකයන් රඳවා ගැනීම සඳහා මැයි දිනය යොදා ගනිති. කෙසේ වෙතත් රතු පාට මැයි රැුලිවලද කම්කරු පන්තිය සඳහා වූ වැදගත්  සටන් පාඨ හෝ වැඩසටහන් මතු වන්නේ නැති බව පෙනෙන්නට තිබේ. එම රැුස්වීම් සඳහා සහභාගි වන පිරිසද කාලයක් තිස්සේම අඩු වෙමින් පවතින බවද පැහැදිලිය.

කම්කරු දිනයට මෙහෙම වුණේ ඇයි ?

දැන් කල්පනා කළ යුතු වන්නේ කම්කරුවන්ට වෙන්වූ දිනයක් ලෙස ආරම්භ වූ මෙම සමරු දිනයට මෙබඳු ඉරණමක් අත්ව තිබෙන්නේ ඇයිද යන කාරණයයි. එයට එක් හේතුවක් නම් කම්කරුවන්ට එම තත්ත්වයේ සිටීමින් ලබාගත හැකි බොහෝ අයිතීන් මේ වන විට දිනාගෙන අවසන් වීම විය හැකිය. ඇතැම් අයිතීන් භාවිතා වන ආකාරය ප‍්‍රශ්නකාරී වුවද ඒවා දැන් තහවුරු වී අවසානය.

කම්කරුවන්ට පැය අටක වැඩ දිනයක් ඉල්ලූවේ ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නටය. එසේ වුවද දැන් එය භාවිත වන්නේ පැය දහයක් වැඩකර අටක් සඳහා අතිකාල ලබා ගන්නටය. කම්කරුවන්ට යළිත් වතාවත් දිගු වැඩ දිනයක් ලැබී තිබෙන්නේ එහෙමය.
අනෙක් අතට සටන් කිරීම වෙනුවට මේ කාලයේ වෘත්තීය සමිති යොදාගන්නා ක‍්‍රමය වී ඇත්ේත සාමුහික ගිවිසුම් මගින් සේවා තත්ත්වය තහවුරු කර ගැනීමයි. කම්කරු සටන් අතුරුදන් වී තිබෙන්නේ ඒ අනුවය.

වෘත්තීය සමිති මගින් කම්කරු අයිතීන් දිනා ගැනීම කම්කරු දේශපාලනය ලෙස මතුපිටින් පෙනී ගියද මාක්ස්වාදීන් හා වම කතා කළේ කම්කරු පන්ති දේශපාලනයක් පිළිබඳවය. එනම් ධනපති ක‍්‍රමය පෙරළා දමා කම්කරු රාජ්‍යයක් හා සමාජවාදී ක‍්‍රමයක් ගොඩ නැගීම ගැනයි. එම ඉදිරි දර්ශනය නම් මේ වන විට බංකොලොත් ලබා ඇති බව පැහැදිලිය.

ධනපති ක්‍රමය ගැන අලුත් කතාව

කම්කරු රාජ්‍යයක් ගැන මාක්ස්වාදීන් කතා කරන විට විශ්වාසය වූයේ ධනේශ්වර සමාජ ක‍්‍රමය වැඩි අවසන් වී ඇති බව හා එය අර්බුදයට යමින් තිබෙන බවය. එසේ වුවද ඔවුන් කිසිදාක නොසිතූ ආකාරයෙන් දිගින් දිගට වර්ධනය වීමට ධනේශ්වර සමාජ ක‍්‍රමයට හැකිවී තිබේ. කම්කරු රාජ්‍යයක් හෝ සමාජවාදී ක‍්‍රමයක් හෝ ජනතාවට අවශ්‍ය නොවන්නේ ඒ නිසාය.

දැන් බොහෝ දෙනා කතා කරන්නේ ධනේශ්වර ක‍්‍රමය පෙරළා දමන්නට නොව එය වඩා හොඳින් හා ජනතාවට හිතකර ලෙස සංවර්ධනය කරන ආකාරය පිළිබඳවය. එම සංවර්ධනයේදී රාජ්‍යයේ කාර්යභාරය පිළිබඳවය. කම්කරුවන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් හිමිවන්නේද වඩාත් සංවර්ධිත ධනේශ්වර ක‍්‍රමයක් තුළ බව දැන් තහවුරු වූ කාරණයකි. එම දියුණු රටවලට සංක‍්‍රමණය වන්නට නොදියුණු රටවල ජනයා දිවි පරදුවට තබන්නේ ඒ නිසාය. අපි‍්‍රකාවේ සිට යුරෝපයට සංක‍්‍රමණය වන්නට යන විසිපන් දහසක් දෙනා වසරකදී මිය යන බව ඊයේ පෙරේදා ලැබුණු වාර්තාවකින් කියැවිණි.

මෙලෙස මැයි දිනය සම්බන්ධයෙන් අතීතයේ තිබූ කම්කරු පාන්තික දර්ශනය අර්බුදයට ගොස් තිබියදී දැන් මැයි දිනයේ ප‍්‍රකට වන්නේ රටේ තිබෙන දේශපාලන අර්බුදයයි. එම අර්බුදයේ කේනද්‍රිය ප‍්‍රශ්නය නම් ආණ්ඩු බලය පක්ෂ අතර හා තුළ පවතින නායකත්වයේ අස්ථාවර බවයි. ඒ නිසා වරප‍්‍රසාද ලබන තත්ත්වයට පත්ව ඇත්තේ ඇතැම් දේශපාලනඥයෝය. ඔවුනට ඇමැතිකම් සුඛෝපභෝගී යාන වාහන, විවිධ දීමනා ලබා දෙන්නේ බලය රැුකගැනීමට හා වර්ධනය කර ගැනීමටය. එසේ වුවද බලය ස්ථාවර වන බවක් පෙනෙන්නට නැති අතර මේ සියල්ලට ගෙවන්නේ මහජනයාගේ බදු මුදලිනි. මෙය දිගට පැවැතිය යුතු තත්ත්වයක් නොව ඉක්මනින්ම අවසන් කළ යුතු තත්ත්වයකි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *