හදිසියේ ම සමුගත් මංගල – නිශාන්ත කමලදාස


දේශපාලනඥයෙකු මිය ගිය අවස්ථාවල මා සැලුණේ නම් ඒ දේශපාලනඥයන් දෙදෙනෙකු ගැන පමණ ය. පළමුවැන්නා විජය කුමාරතුංග ය.

දෙවැන්නා මංගල සමරවීර ය.

මංගල සමරවීර ගැන අපේ බ්ලොග් අඩවියේ සටහන් දෙකක් ම ඇත. තව සටහන් ගණනාවක ඔහු ගැන සඳහන් කර ඇති තැන් ද බොහෝ ය. ඒත් අද ලියන්නට සිදු වන්නේ අපෙන් සමු ගත් මංගල ගැන ය. ඔහු අපට ඉතිරි කළ උරුමය ගැන ය.

ඔහු ගමට වැඩ කළේ ය. රටට වැඩ කළේ ය. නිලධාරීන්ට එරෙහිව නොව ඔවුන් සමග වැඩ කළේ ය. බොහෝ දේශපාලනඥයන් මෙන් නීතියට පිටින් යන්නට ඔහු ඔවුනට බල කළේ නැත.

ඔහු කෙළින් කතා කළේ ය. ඡන්ද ගොඩ ගැන නොබලා කියන්නට අවශ්‍ය දේ කියුවේ ය. තමන් විශ්වාස කළ දේ වෙනුවෙන් ආනිශංස නොබලා පෙනී සිටියේ ය.

වරක් ඔහුගේ ඇමති පදවිය කිසිදු පැකිලීමකින් තොරව ඉවත දැම්මේ ය. ඉවත දමා එවකට ජනප්‍රියව සිටි ආණ්ඩුවෙන් ද ඉවත් විය.

වැරදි පිළිවෙත් පුරන්නට නොහැකි වූ තැන මැතිවරණයට නාමයෝජනා දී තිබිය දී ත් ඉන් ඉවත් වූයේ ය. ඒ අවසානයට පැවැත්වූ මහ මැතිවරණයේ දී ය.

ඔහු හැම ජනවාර්ගික කණ්ඩායමක් ම ද ජාතිකව පමණක් නොව ජාත්‍යන්තරව ද එකසේ පිළිගත් දුර්ලභ දේශපාලනඥයෙක් විය. එවැනි පිලිගැනීමක් ඇති හෝ තිබූ ‌දේශපාලනඥයෙකු පෙන්වන ලෙස ඔබට කීවොත් ඔබ පැහැදිලිව ම අමාරුවේ වැටෙනවා ඇත. ඒ තරමට ම එවැන්නෝ දුර්ලභ ය. එවැන්නෙකු අහිමි වීම ඒ නිසා ම එසේ මෙසේ පාඩුවක් නොවේ. හිස් මිනිසුන්ගෙන් පමණක් නොව කබල් දේශපාලනඥයින්ගෙන් ද අඩුවක් නැති ‌රටේ නොසිටියේ මංගල වැනි දේශපාලනඥයන් ය.

ඔහුට අවශ්‍ය වූයේ දිනන්නට පමණක් නොවේ. දිනවන්නට ය. මැතිවරණ දේශපාලනයට ආයුබෝවන් කීමෙන් ඔහු එය නැවතත් නොකියා කීවේ ය.

ඔහු මිනිසුන්ට ආදරය කළේ ය. ඒ නිසා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේ ය. අපේ රටේ දකුනේ අතුරුදහන් වූවන් වෙනුවෙන් බොහෝ අය පෙනී සිටි බව ඇත්ත ය. බොහෝ දෙනෙක් එසේ පෙනී සිටියේ ඒ සමඟ ගැටගැසී තිබූ දේශපාලන වාසි නිසාය. එසේ වුව ද උතුරේ අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වශයෙන් සිය දිවි නසා ගැනීමක් විිය හැකිව තිබිය දී ද නින්දා අපහාස මිස ඒ වෙනුවෙන් ලැබෙන කිසිදු දේශපාලන වාසියක් ලැබෙන්නේ නැති බව දැන දැනම මංගල අපේ රටේ දකුණේ අතුරුදහන්වූවන් වෙනුවෙන් මෙන්ම උතුරේ අතුරුදහන්වූවන් වෙනුවෙන් ද සමානව මැදිහත් විය.

ඔහු මිනිසුන්ට ආදරය කළ තරමට ම ඇතැම් විට ඊටත් වඩා මිනිසුන් ද ඔහුට ආදරය කර ඇති බව වටහා ගැනීමට අපට ඔහු මිය යන තුරු සිටීමට සිදු විය.

තව බොහෝ දේ ඔහු ගැන ලියවෙනු ඇත. ඒ අයට ඉඩ තබා අපි නතර වෙමු. එසේ වුව ද තව එක් දෙයක් නම් නොලියා ම බැරි ය.

ඔහු ජීවිතයෙන් සමුගන්නට පෙර ජීවත් ව සිටින දේශපාලනඥයන්ට පහසුවෙන් ළඟා විය නොහැකි අභියෝග ගණනාවක් ඉදි කළේ ය. පුළුවන් නම් ජය ගනිල්ලා යි නොකියා කීවේ ය. ඉදිරියට එන කවර දේශපාලනඥයෙකුට වුව ඒවා පහසුවෙන් මග හැර යා නොහැකි ය. ඔහු දැයට හිමි කළ ‌ඒ දායාදය පමණක් වුව ඔහුට අපේ ගෞරවය පුදන්නට සෑහෙන්නේ ය.

මූණු පොතේ ලියවුනු මේ කවිය සමන්ති වැලිවිට මිතුරියගේ. මංගල ගැන මා දුටු සංවේදී සටහනක් නිසා ම එය මෙහි ඇලෙව්වා.

මංගල….මැරුණු එක හොඳයි.

මොකෙක්ද මේ..වාචාලම කටක්..

මිනිස්සුන්ගේ දුක තේරෙනවද මෙහෙම අයට..

දරුවෙක් මල්ලෙක් නෑ…

ඉතිං එයාට නම් මොකද….

ඕනි තරම් එහෙම කියලා ඇති…

කියන අයට හූමිටි තියලා ඇති…

ඒත් මංගල..නුඹ තිරයෙන් විසි උනාම,

ඊගාවට ඇවිත් රඟන අය දැක්කම හිතුනා අපරාදේ මංගල ගියේ..

බුදු දහමට බනිනකොට..අලුත් දර්ශනයක් දොඩනකොට..

ඕකට යන්න අපායක් නැති වෙයි..හැමෝම කිව්වා..

ඒත්.සැබෑ බුදු දහම හොයනකොට…

සිවුරට, දහමට මුවා වෙලා අකටයුතුකම් දකිනකොට..

සැබෑවටම අපිනේ අපායේ සිතුනා…

ඔව් මංගල…නුඹ හරියි හිතුනා…

දේශපාලනේ අත හරින කොට..දැන් ඇතියි මට කියලා කියන කොට….

ආන් ඌ ඇති තරම් හම්බ කරන් කැපුනා…

අපි එහෙම කිව්වා…

රට පෙරට කියාගෙන සුර සැපට ලොල්ව එන …මහා නාකි වැඩ නොකර

පවුල් පන්සල් රකින..නීතියත් වල් වැදුනු මහා කාලකන්නි යුගයක…

නුඹේ අත් හැර යාම මහ තදින් දැනුනා….

පිරිමියෙක් නොවේ නුඹ

අසම්මතයේ හැදුනු….සිත් පුරා අවලාද කිව්වා..

පිරිමි කම පෙන්වමින් පඩත්තර වැඩ කරන..

බලයට මුවා වී ඒ සියල්ලම වසන

බොහෝ දුදනන් අතර

උන්ට නැති, උඹට ඇති හයිය කොන්දක් තිබුනා…

ඉතිං මංගල….නික්ම යන තෙක් කියන්නට මේ වග

අනේ මග හැරුනා…

රැල්ලට ඔහේ ලිව්වා නෙවෙයි…

මගේ හිත මට කිව්වා…

අනේ මංගල උඹ මැරුණු එකමයි හොඳ….

නිශාන්ත කමලදාස

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *