මංගල දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නෑ – ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජවිපෙ කියයි

මංගල දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නෑ – ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජවිපෙ කියයි

මංගල සමරවීර තම දේශපාලන ගමන් මගේදී කිසිවිටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා නොගත් නිදහස් මතධාරියෙකු වූ බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහත පළවේ.

 

මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අපගේ ශෝකය!

හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී අද (24) දින අභාවප්‍රාප්ත වී තිබේ.

මංගල සමරවීර මහතා විශ්වාස කළ දේශපාලන ගමන්මඟ පිළිබඳවත්, ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳවත් ඔහු සහ අප අතර ඇත්තේ පැහැදිලි වෙනස්කමකි. එසේ වුවද ඔහු, ඔහු නියෝජනය කළ දේශපාලන ධාරාවේ සිටි හොඳ මිනිසෙක්, හොඳ මහත්මයෙක් විය.

ඔහු කිසිවිටෙක දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නැත. දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු, තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයන් තුළදී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් විය. රට තුළ මතු වූ ඇතැම් තීරණාත්මක දේශපාලන අවස්ථාවන්හිදී ඔහු අප සමග සමීපව කටයුතු කළ ආකාරයද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.

ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු සියලු දෙනා සමඟ එම ශෝකය බෙදාගැනීමට අපිද එක්වෙමු.

දේශපාලන මණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ

2021.08.24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *