ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ! විමල් ලා විදේශ බළල් අත් වෙලා – පොහොට්ටුවෙන් ප්‍රහාරයක්

ආණ්ඩුවේ ම කණ්ඩායමක් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් , එය කුමන්ත්‍රණයක් ලෙස පෙනීයන බවත්, එම කුමන්ත්‍රණකාරී පිරිස විදෙස් බළල් අතක් ලෙස ක්‍රියා කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේ ය.

බත්තරමුල්ලේ නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේ දී ගාමිණී ලොකුගේ ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙම පිරිස විදේශ බලවේගවලට ඉක්මනින් ම ගොදුරු වී ඇති බව යි. ඇෆ්ගනිස්ථානයේ මෙන් බල පෙරලියක් මෙරට සිදුවනු ඇතැයි මෙම පිරිස කල්පනා කරන බව පෙනී යන්නේ යයි ද ඒ මහතා පැවසීය.

පොදුජන පෙරමුණ මෙම කුමන්ත්‍රණය ලෙස හඳුන්වන ලද්දේ ආණ්ඩුවේ පක්ෂ දහයක් රට වසන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම සහ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල ඇමතිවරුන් එයට අත්සන් තබා තිබීම යි.

රට වැසීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයට අත එසවූ ඇමතිවරු එළියට ඇවිත් රට වැසිය යුතු යැයි ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කිරීම කුමන්ත්‍රණයක් බවට සැක යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා ද එම පුවත්පත් සාකච්ඡාව අමතා ප්‍රකාශ කළේ ය.

මෙවැනි සිද්ධීන් පිළිබඳව විශේෂයෙන් සොයා බලන ලෙස ජනාධිපතුමාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කීය.

රට නොවැසිය යුතු බවට පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සියලු කැබිනට් ඇමතිවරුන් ඒකමතික තීරණයක් ගැනීමෙන් පසුව රට වැසීමකට යන්නේ නෑ කියන තීරණයට අත ඔසවපු සමහර ඇමතිවරු එළියට ගිහින් රට වහන්න කියලා රජයට ලියුමක් දුන් බව කී සාගර කාරියවසම් මහතා එවැනි දේවල් කුමන්ත්‍රණ දැයි සැකයක් මතු වන බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *