කැබිනට් සංශෝධනයේ දෙවන වටයක් එයි ; ලොකු වෙනස්කම් එහිදී !

පසුගිය දා සිදු කළ කැබිනට සංශෝධනයේ අරමුණ වුයේ හදිසියේ කළ යුතු බව ජනාධිපතිවරයා කල්පනා කළ තනතුරු වෙනස්කම් කිරීම බවත්, කැබිනට මණ්ඩලයේ බරපතළ වෙනස්කම් ඉදිරියේ දී කිරීමට ජනාධිපතිතුමා අදහස් කර සිටින බවත් ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග කියයි.

කැබිනට් සංශෝධනයේ දී වෙනස්කම් ගණනාවක් කිරීමට මුල දී අදහස් කොට තිබුණ ද මෙය එයට අවස්ථාව නොවන බව ආණ්ඩුවේ ම ප්‍රබල පිරිසක් ජනාධිපතිතුමාට පෙන්වා දී ඇතැයි කියති. ඔවුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් තවත් උත්සන්න විය හැකි පියවරයන්ගෙන් මේ අවස්ථාවේ වැළකී සිටිය යුතු බවයි. අලුතින් මුදල් ඇමති ධුරයට පත් වූ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මෙම අදහස තදින් ප්‍රකාශ කළ බව කියති.

රට වහාම වසා දමන ලෙස ඉල්ලා ආණ්ඩුවේ පක්ෂ දහයක් ජනාධිපතිතුමාට යැවූ ලිපියකට අත්සන් තැබීම ගැන ජනාධිපතිතුමා විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල ඇමතිවරුන්ට බැන වැදීමත්, ඇමති තනතුරුවලින් ඉවත් කරන බවට එහිදී ජනාධිපතිතුමා කළ තර්ජනයත් නිසා තවත් ඇමති මාරුවක් ගැන කතා බහ ආණ්ඩුව තුළ නැවතත් මතු වී තිබේ.

තමන්ට කළ තර්ජනය ගැන මෙම ඇමතිවරුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර අගමැතිතුමා ඔවුන්ට කියා ඇත්තේ කලබල නොවී සිටින ලෙසයි. ඔවුන් තිදෙනා සැනසීම සඳහා අගමැතිතුමා ඔවුන්ට සිකුරාදා රාත්‍රී භෝජනය ලබා දී කතා බහ කොට තිබේ.

රට වැසීමේ ප්‍රශ්නයේ දී ජනාධිපතිතුමාට පසුබැසීමට සිදුවීම නිසා එතුමාගේ ඉදිරි ප්‍රතිචාර වඩා  දරුණු වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ දෙනා කල්පනා කරන බව අපගේ ආරංචි මාර්ග කියයි. ඇමතිවරුන් තිදෙනාට කළ තර්ජනයත් සමග මේ අදහස වඩාත් ප්‍රබල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *