මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම ගැන මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි

විවිධ හේතු දක්වමින් මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමත්, ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ ප්‍රවෘත්ති මුලාශ්‍ර පිළිබඳව ප්‍රශ්න කිරීමත් සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිතුමා වෙත ලිපියක් යවමින් තම විරෝධය ප්‍රකාශ කරයි.

එම ලිපිය මෙසේ ය.

චන්දන වික්‍රමරත්න මහතා,

පොලිස්පති,

පොලිස් මූලස්ථානය,

කොළඹ.

 

පොලිස්පතිතුමනි,

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධවයි!

 

තම වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක නමැති අය ඉන්දියානු තානාපති කාර්යාලයට කිසියම් තොරතුරක් ලබා දීම නිසා දින අනූවක රැඳවුම් නියෝගයක් මත පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බව ලංකා ඊ – නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක මණ්ඩලය අප වෙත දන්වා ඇත. අත්අඩංගුවට පත්ව සිටින මාධ්‍යවේදියා නියමිත නීතිමය ප්‍රතිපාදන යටතේ පරීක්ෂණවලට භාජනය කරන ලෙස ද ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ද මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි පළමුවෙන් ඉල්ලා සිටිමු. ඒ, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ සිදුවීමෙන් බැහැරව වෙබ් අඩවිය පිළිබඳ වෙනත් තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳව පොලීසිය ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව ඊ-නිව්ස් සංස්කාරක මණ්ඩලය පවසන පසුබිමකය.

 

අධිකරණමය ක්‍රියාදාමයකදී, කිසියම් සිදුවීමකට අදාල මූලාශ්‍ර මිස තමන් වෙත තොරතුරු සපයන මූලාශ්‍ර හෙළිදරව් නොකිරීමේ වෘත්තීය වගවීමක් හා සම්ප්‍රදායක් මාධ්‍යවේදීන්ට ඇති බව ඔබතුමාට පැහැදිලි කරදීමට ද මෙය අවස්ථාවක් කර ගනිමු. එම නිසා කීර්ති රත්නායක සිදුවීමටට අදාල සමස්ත නිරවද්‍ය තොරතුරු සමාජ ගත කරන මෙන්ද නෛතික විධිවිධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරන මෙන්ද ඉල්ලා සිටිමු.

 

ඒ අතර පසුගිය දිනෙක අලුයම් කාලයේදී විශාල පොලිස් බලඇණියක් තමන්ගේ නිවෙස පරීක්ෂා කළ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක වන තුෂාරා වන්නිආරච්චි පවසයි.  එසේම තමිලන් පුවත්පතේ කර්තෘ ආර්. සිවරාජා පදිංචි නිවෙසට  රහස් පොලීසියෙන් යැයි කියා කිසියම් පිරිසක් ඇතුළු වන්නට උත්සාහ ගෙන ඇත. මඩකලපුවේ මාධ්‍යවේදියකුගෙන්ද ප්‍රශ්න කිරීමක් සිදු විය. මෙම මෑත කාලීන සිදුවීම්වලද පසුබිම පැහැදිලි නොවන අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සමාජ ගත කිරීම සෑම අතින්ම යහපත්ය.

 

මාධ්‍යවේදීන් තැති ගැන්මට ලක්වන ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ නිදහස අවුරාලන හා වෘත්තීය කටයුතු අකර්මණ්‍ය විය හැකි තත්ත්වයක් වර්ධනය වීමට ඉඩ සළසන නිසා සෑමවිටම නිසි නෛතික ක්‍රමවේද තුළ කටයුතු කරන බවට සහතික වන මෙන්ද, ඔවුන්ට අදාල අත්අඩංගුවට ගැනීම්වලදී, අත්අඩංගුවට ගැනීමට බලපෑ නිශ්චිත හේතු සමාජ ගත කරන මෙන්ද ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිමු.

 

මාධ්‍ය සංවිධාන එකමුතුව

ධර්මසිරි ලංකාපේලි,

ලේකම්,

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

 

 

 

සීතා රංජනී,

කැඳවුම්කරු,

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 

දුමින්ද සම්පත්,

සභාපති,

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

 

එන්.එම්.අමීන්,

සභාපති,

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

 

කනපතිපිල්ලේ සර්වානන්ද

ලේකම්

දෙමළ මාධ්‍ය සංසදය

 

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි,

ලේකම්,

ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *