වී මිල දී ගැනීමට ආණ්ඩුවෙන් ලෙඩ දමයි ! මෝල් හිමියන්ට ණය දීම බැංකුවලට තහනම් !!

යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ වී තිබුණ ද රාජ්‍ය බැංකුවලින් ණය ලබා දීම නවතා  දමා තිබීම හේතුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිල දී ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. මේ නිසා වී මිල දී ගැනීම මුදල් ඇති මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරයක් වී ඇති බවත්, මෝල් හිමියන් නොවන ව්‍යාපාරිකයින් පිරිසක් ද වී මිල දී ගැනීමට පටන්ගෙන ඇති බවත් කියති.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ වී මිල ඉහළ යාම වැළක්වීම සඳහා මිල දී ගැනීමේ තරඟය අවම කිරීමේ පියවරක් ලෙස වී මිල දී ගැනීමට ණය නිකුත් නොකරන ලෙස ආණ්ඩුව බැංකුවලට නියම කොට තිබීම හේතුවෙනි.

සුළු සහ මධ්‍ය පරිමාන මෝල් හිමියන් සාමාන්‍යයෙන් කරන්නේ වී ගැනීම සඳහා බැංකු ණයක් ලබාගෙන ඉදිරි මාස කිහිපයේ සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණය ගබඩා කර ගැනීම යි. බැංකු ණය ලබා නොදීම නිසා මෙම පිරිසට මෙවර වී මිල දී ගැනීම කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කියති.

මුදල් ප්‍රශ්න නැති මහා පරිමාණ වෙළෙඳුන් පමණක් වී මිල දී ගැනීම නිසා වී මිල ද පහත වැටී ඇති බව වාර්තා වෙයි. ඇතැම් ප්‍රදේශවල වී අලෙවි වන්නේ කිලෝව රුපියල් 40.00 සහ 45.00 අතර මිල ගණන්වලට ය. පොළොන්නරුව , මැදිරිගිරිය, හිගුරක්ගොඩ ප්‍රදේශවල වී මිල පසුගිය කාලයේ මීටත් වඩා අඩු වී තිබිණි. දැන් එය තරමක් ඉහළ ගොස් ඇතැයි කියති.

මෙම තත්ත්වය තුළ වී නොවිකිනීමට රාජාංගණය ජනපදයේ ගොවීන් සාමුහික තීරණයක් ගෙන ඇති බවත්, වෙනත් ප්‍රදේශවල ද එබඳු ම ප්‍රතිචාර ඇති බවත්, අපේ ආරංචි මාර්ග කියයි.

ඒ අතර වෙළෙඳ පොළේ බරපතළ සහල් හිගයක් තවමත් ඇති අතර සහල් විකිනෙන්නේ රුපියල් 120 ක් හෝ ඉහළ මිල ගණන් වලට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *