කැස්ස – අනුරුද්ධ ලොකුහපුආරච්චි

පසු ගිය දවස් දෙක තුනේ පුංචි කැස්සක් තිබුන…වැක්සින් දෙකම අරගෙන තිබුනත් කෝකටත් කියල ගෙදර තිබුන කොවිඩ් ටෙස්ට් කිට් එක එලියට අරගෙන ටෙස්ට් කරල බැලුව…නෙගෙටිව්.

මට හතිය තියෙන නිසා නිතරම කොවිඩ් ටෙස්ට් කරන්න වැඩිපුර ටෙස්ට් කිට් ගෙදර තියාගෙන ඉන්නෙ. විනාඩි කීපයක් ඇතුලත ප්‍රතිපලය මටම බලාගන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිල වෙබ් අඩවියේ කොවිඩ් සඳහා වන පිටුවට ගිය විට ඕන අයෙකුට ටෙස්ට් කිට් ගෙදරට ගෙන්වා ගන්න පුළුවන්. කිසිම වියදමකින් තොරව ඇණැවුම්කර පැය 48 ක් ඇතුලත ගෙදරටම එවනව.

ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඒකටනෙ. ජනතාවගේ අවශ්‍යතාවයන් නිසියාකාරව කළමණාකරණය කිරීම සඳහායි. විශේෂයෙන්ම අසීරු අවස්ථාවන්හි ජනතාවට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට උදව් වීම සඳහා සැළසුම් සැකසීම සහ ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සහ එම යාන්ත්‍රණය අධීක්ෂණය කිරීම ජනතාව විසින් පත්කරගත් පාලකයාගේ වගකීමය. නැතිව “මම ඇඳිරි නීතිය දාන්නම්, හැබැයි උඹල පටි තද කරගන්න ලැහැස්තිවෙයල්ල” කියන්න පාලකයෙක් ඕන නැහැ. මොකද ජනතාව හැමදාමත් කරන්නෙ තමන්ගෙ පටි තද කරගන්න එක තමයි. තමාගේ අදක්ෂබව, බුද්ධි හීනබාවය සහ අධූරදර්ශී උද්ධච්ඡ බවින් සිදුවන ප්‍රතිවිපාක ජනතාව මත පටවා ක්‍රියා කිරීම පාලකයෙකුට ගැලපෙන්නක් නොවේ. එවන් කියමනක් මා දැන් ජීවත් වන බ්‍රිතාන්‍ය තුල සිදුවූවා නම් එයට එරෙහිව දැවැන්ත ජනමතයක් ජනමාධ්‍ය විසින් ගොඩ නගනු නොඅනුමානය.

ඒ නැතත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ්ට විරුද්ධ විශාල මතවාදයක් මේ දිනවල ගොඩ නැගෙමින් පවතී. ඇෆ්ගනිස්ථානය තලෙයිබාන්වරුනට ගොදුරු වන විට එතෙක් බ්‍රිතාන්‍ය හමුදා වෙනුවෙන් සේවය කල ඇෆ්ගන් ජාතිකයන් ⁣ආරක්ෂිතව ගෙන්වා ගැනීමට නොහැකි වූවේ ඔහුගේ අදක්ෂ නොසැළිකිලිමත්කම නිසා බව ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. සිදුවීම සිදුවන විට ඔහු නිවාඩු ගත කරමින් සිටි අතර බටහිර ගැති ඇෆ්ගන් රජය කඩා වැටීමට පෙර ඇෆ්ගන් ඇමතිවරයාට දුරකතණ ඇමතුමක් දී එම සේවකයින් ගෙන්වා ගැනීම සැළසුම් කිරීම ඔහු මග හැරියේය. එල්ලවන දැඩි පීඩනය අනුව ඔහුට තම තනතුරින් ඉවත් වීමට සිදුවන සෙයක් පෙනේ.

එම සිදුවීම ශ්‍රී ලංකාවේ දේශපාලනයට ආදේශ කලහොත් පාලකයන් තමාගේ රාජකාරියට වගකීම සහ ඔවුන්ගේ රාජකාරිය අධීක්ෂණය කිරීමේ හැකියාවක් ඇති සිවිල් සමාජයක් ගොඩ නගා ගැනීමට දෙදෙහස් පන්සිය වසරකට වඩා පැරණි වූ රාජ්‍ය පාලනයක් ගැන වහසි බස් දොඩන අපට හැකිවීද.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ආගමනය පිළිබඳ බොහෝ උද්වේකර ලෙස කතා කරන ඇතැම් ශ්‍රී ලාංකිකයන් එකම පවුලකට තම රාජ්‍ය මංකොල්ලකෑම සඳහා සිංහල බෞද්ධ අන්තවාදය යොදා ගැනීම පිළිබඳ කතා කරන විට නිහඩ වන්නේ කුවේණිව පාවා දුන් තැන් පටන් ජාන වලට මිශ්‍ර වී ඇති කුහකත්වය නිසා නොවේද. එල් ටී ටී ම්ලේඡ්චත්වය පිටින් දමා සුළු ජාතික අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලීම් දෙමළ ලේ වලින් සෝදා හැර චීනයට රට පාවා දෙන විට හුරේ දමන්නේද ඒ ජානවලම ක්‍රියාකාරිත්වය නිසා විය හැක.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

අන්තර්ජාලයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *