ආණ්ඩුවට විරුද්ධ වුවත් ජාතික ප්‍රශ්නය විසඳන්න අපි සහාය වෙනවා. – ඩියූ ගුණසේකර

වාමාංහිකයින් හැටියට මේ ආණ්ඩුවේ සමාජ ආර්ථික ප්‍රතිපත්තියට අපි විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගෙනත් තිබෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වැඩපිළිවෙල. මෙයට පෙරත් යලී පුබුදමු ශ්‍රි ලංකා කියලා ගෙනාවේ මේ වැඩ පිළිවෙලමයි. සාමාන්‍ය ජනයා මත බදුබර පටවා ධනපතින්ට සහන දී රටක් දියුණු කරන්නට බෑ. අනික් එක වංචා දූෂිණ ගැන කථා කළත් මේ මහබැංකු බැඳුම්කර හරහා විශාල දූෂණයක් වෙන බව ඉතා පැහැදිලියි. ඒ අනුව මේ ආණ්ඩුවට අපි විරුද්ධයි. කෙසේ නමුත් මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්නට මේ ආණ්ඩුව දරන උත්සහායට අපගේ සම්පූර්ණ සහාය ලැබෙන බවත් කියන්නට ඕනේ.
මොන ආණ්ඩුව බලයේ සිටියත් අනිවාර්යයෙන් ජාතික ප්‍රශ්ණය විසඳා ගන්න ඕනේ. ඒකට මහින්ද රාජපක්ෂත් සම්බන්ධ කරගන්න ඕන කියලා මම පෞද්ගලිකව කල්පනා කරන්නේ. වෙන්වෙලා හිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාමත් එක පක්ෂයක් නේ තිබෙන්නේ. ඒකට පිටින් ගියොත් එකේ කොටස් අනිකුත් අන්තවාදී කොටස්වලට බිලිවෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ වගේ ප්‍රශ්ණයක් එනකොට, නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක් නම්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් නම්, සංහිදියාව පිළිබද ප්‍රශ්නයක් නම්, අපි ඉන්නේ කෙලින්ම සහයෝගය දෙන පැත්තේ.
මම කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක ස්ථාවරයකට එනකොටම ප්‍රභල මතයක් ඉබේම ඇතිවෙනවා. ඔය සාමාන්‍ය පොදු ජනතාව, දෙමළ ජනතාව, සිංහල ජනතාව හෝ කම්කරු ජනතාව ජාතිවාදී නැහැ. ජාතිවාදය කියන එක මධ්‍යම පංතියේ ප්‍රපංචයක්. ඒක තියෙන්නෙ වෘත්තිකයින් අතර. ඒක ටිකක් ආත්මාර්ථකාමියි. අර පැත්තෙ ඉන්න තමන්ගේ මිනිසුන් අභිබවා යන්න ඔවුන් බලන්නේ. ඊලගට බිස්නස් කාරයෝ. ජාතිවාදය කියන එක ලොවපුරා තියෙන මධ්‍යම පාංතික ප්‍රපංචයක්. දැන් ඔය භාෂා ප්‍රශ්නය ආපු වෙලාවෙ බලන්නකො බුද්ධිමතුන් හැසිරුනු ආකාරය. බුද්ධිමතුන් නේ මෙත්තානන්දලා, මහාචාර්ය ජයසූරියලා. ඒ අය මහාචාර්යවරු නේ. ඒ වෙලාවේ බැලුවේ පටු ආකාරයට ය. ඊලගට ඔය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම එනකොට, ඩඞ්ලි සේනානායක චෙල්වනායගම් ගිවිසුම එනකොට. ඊ ළගට ජේ. ආර්. ජයවර්ධනගේ ඉන්දු ලංකා ගිවිසුම එනවිට එහෙම තමයි හැසිරුනේ. මගේ අත්දැකිම නම් ඒක බිය වියයුතු කාරණාවක් නොවේ.
ඔවුන් ඉන්නේ හැම තිස්සේම මහ පක්ෂත් එක්ක. ඉතිහාසය බලන්න ආපහු, 56 ඉදලාම එහෙමයි උනේ. මෙත්තානන්ද, රාජරත්න වගේ අය හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක, එහෙම නැත්නම් යුඑන්පියත් එක්ක. එහෙම නැත්නම් තනියම ඔවුන්ට මොනවත් කරන්න බෑ. ඔය බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ බලන්න. එයා ඉන්නෙම කවුරු හරි අල්ලා ගන්න බලාගෙන. එක්කො ගෝඨාභය පස්සෙ යනවා, මහින්ද රාජපක්ෂ පස්සේ යනවා. තනිව ඔය දගලන කවුරුවත් නැහැ. දේශපාලන භූමියේ ගත්තත් එහෙමයි. මහ පක්ෂවල අය දැන ගන්න ඕන ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. දැන් බණ්ඩාරනායක මහත්තයාට වෙච්ච දේ බලන්න. අන්තිමට ඇති උනේ යුද්ධයක් නේ. යුද්දෙන් මැරනේ දෙමළ මිනිසුන් විතරක් නෙවේ. සිංහල මිනිසුන් මැරුනේ නැද්ද? වෙන්න ඕනේ ඔක්කොම උනානේ. ඉතිං ඒක නිසා දැන්වත් ඒක පාඩමකට ගන්නවා නම් හොඳයි. ඒනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි යම් එකගතාවයකට එන්න ඕන. ඒ උනත් අනිත් අය උනත් ඔවුන් එක්ක සාකාච්ඡාවකට යන්න ඕන. හැබැයි එතන ඉන්න අති බහුතරයක් ජාතිවාදී නෙවෙයි. නිකන් මහින්ද රාජපක්ෂ කියලා ලේබල් එක ගහලා එහාට තල්ලු කරන්න යන්න නරකයි. එදා දේශපාලන සංස්කෘතියක් තිබුනා. අද දේශපාලන සංස්කෘතියක් නෑ. අද ඉන්න අය දේශපාලනය දන්නේ නෑ. ඒ නිසා එදාට වඩා අද ප්‍රවේසම්විය යුතු යි.
මේක දේශපාලන උවමනාවක් නැති එකම නොවෙයි කාරණාව. ප්‍රශ්නය ගැන අවබෝධයක් නැතිවීම පළමු වැන්න ය. මම එවකට රූපවාහිනි සංස්ථාවේ සභාපති. මොනවා උනත් චන්ද්‍රිකා සුදු නෙළුම් ව්‍යාපාරය , තවලම වගේ වැඩ සටහන් මගින් විසඳමක අවශ්‍යාවය ජනතාවට ඒත්තු ගන්නන්නට වැඩ කළා. මට තමයි භාර දී තිබුණේ රාජ්‍ය නිලධාරින් දැණුවත් කරන්න. හමුදාවේ ඉහළ නිලධාරින් 800ක් ජනාධිපති මන්දිරයට එක්කරගෙන ආවා. මට එතුමිය කිව්වා එයා මම එන්නේ නෑ, ඔයා ඒ අයට ජාතික ප්‍රශ්නය ගැන කථා කරන්න ඕනේ බව. ඒ කතාව පොතක් ලෙස ජනාධිපති කාර්යාලයෙන් මුද්‍රණය කර බෙදා හැරියේ ය. මේ ආකාරයට මුලු හමුදාවම එදා දැනුවත් කළේ ය. එතකොට යුද්ධයට ගියත් දෙමළ මිනිසුන් මරන්න නොවෙයි යුද්ධයට යන්නෙ කියන අදහස වර්ධනය විය. චන්ද්‍රිකා ඒ මොහොතේ ගත්ත තීණය මම අදටත් අගය කරන්නට පසුබට වෙන්නේ නෑ. මේ ආණ්ඩුවත් ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ඒ වගේ විශාල වැඩ සටහනක් ආරම්භ කරන්නට යනබව මට ආරංචි ය.
මැරුණ මිනිසුනට දොස් කියා හරි යන්නේ නැති නමුත් මෙතන තියෙන්නේ නිදහස ලැබෙන විට හ්‍රි ලංකීය ජාතියක් ලෙස අපි මතු වූයේ නැතිවීමවීම පිළිබඳ ප්‍රශ්නයකි. ශ්‍රි ලාංකීය යන වචනය ද ඉදිරියට පැමිණියේ 72 ව්‍යාවස්ථාවෙන් අනතුරුව ය. එදා ලාංකීය ජාතියක් කියලා කීවේත් නැත. ඒ වෙලාවේ සිටි නායකයෝ දුරදිග කල්පනා කළේ නැත. ඇත්ත තමයි එජාපට හදිසියේ මුස්ලිම් හා දෙමළ කට්ටිය එකතුකර පක්ෂ හදාගත්තෙ ය. ඒවා හදා ගත්තේ අවස්ථාවාදි ලෙස මිසක් ප්‍රතිපත්ති වශයෙන් දර්ශනයක් මත නොවේ. එහෙම කළා නම් නේරුලා හා අම්බෙඞ්කාර්ලා වගේ මිනිසුන් හැටියටයි නිදහස ලබා ගන්නට තිබුණේ. අම්බෙඞ්කාර් වගේ මනුශ්ෂ්‍යයෙක් එදා ඉන්දියාවේ නොසිටින්නට අද ඉන්දියාව කෑලි සිය ගනනකට ගැඩෙන්නට තිබුණි. එසේ වූවා නම් අධිරාජ්‍යවාදින් තමයි ඔතන ඉන්නේ අද. ඒ නායකයෝ හරියට බුද්ධිය පාවිච්චිකර වැඩ කළේ ය. මේ පුංචි රටේ කොහොම කරන්නට නොහැකි ද?
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එක කොටසක් අන්තවාදයයේ සිටන බව ඇත්ත ය. ඒ අය සමග ද සාකච්ඡාවක් ඇතිකර ගැනීම අවශ්‍ය ය. නමුත් ඒ පක්ෂයේ අති බහුතරයක් ජාතිවාදීන් නොවේ. මහින්ද රාජපක්ෂ කියලා ලේබල් එක ගහලා පැත්තකට තල්ලු නොකළ යුතු ය. අර රිචඞ් පතිරණගේ පුතා දිහා බලන්න. ඔහු අතිශයින්ම දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නය විසඳිම වෙනුවෙන් සිටින අයෙකි. ඔහු එතන ඉන්නේ වෙනත් හේතු නිසා. ජනපදනම, වැනි දේ නිසයි එතන ඉන්නේ. එහෙම මිනිස්සු එතන ඉන්න බව තේරුම් අරගෙන තමයි උපක්‍රම යොදා ගන්නට ඕනේ.

ඒ අතරම විපක්ෂයේ ජාතිවාදි හඩ වළක්වාගත යුතු වේ. අර භාෂා ප්‍රශ්නයේ සිද්ධ වූයේ කුමක් ද? සිංහළ පමණයි කියන ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කලේ ය. ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ ජේ. ආර්. ජයවර්ධන ය. 1944 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට සිංහළ පමණය පනත ගෙනාවේ ඔහු ය. දැන් රටම ඇහුවොත් ඒ ගැන කවුරුවත් දන්නේ නැත. ඒක එයා ඉදිරිපත් කලායින් පසු ඩි. ඒස්. සේනානායකයි, බණ්ඩාරනායකයි මැදිහක් වූ හ. මැදිහත් වෙලා එයා කැමති කරගත්තා සිංහළ සහ දෙමල යන දෙකට එකම තතත්ත්වය දෙන්න. එහෙම තමයි ඒක සම්මත වූයේ. ඊට මාස කිහිපයකට පෙර කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙනාවේ. මේ පනත් දෙක එකට ක්‍රියාත්මක නොවී ය. කන්නන්ගර මහත්මයාගේ පනත ක්‍රියාත්මක විය. ජේ ආර්ගේ පනත ක්‍රියාත්මක වූයේ නැත. මක්නිසා ද එවකට ඔහු ඇමතිවරයෙක් නොවීම නිසා එහෙම උනේ. එතකොට රාජ්‍ය පරිපාලනය තිබුණේ මුදල් අමාත්‍යංශය යටතේ ය. මුදල් ඇමතිවරයෙක් නොව හිටියේ මුදල් ලේකම්වරයෙකි. මිනිහා ඒක ක්‍රියාත්මක කළේ නැත. අන්තිමට 50 ගණන් වෙනවිට උතුරෙන් දෙමළ මාධ්‍යයෙන් හා දකුණෙන් සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත් අය අධ්‍යාපනය අවසන් කර පිටවෙනවා. නමුත් රජයේ සේවයට යන්න බෑ. මක් නිසාද යත් රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. එතන සිට සිංහළ පමනයි කියන ප්‍රශ්නය ආවේ ආර්ථික ප්‍රහ්නයක් හැටියට ය. සංස්කෘතික ප්‍රශ්නයක් ද එතන තිබේ. ලෝකයේම තියෙන පුංචි රටක් විම ද එයට බලපෑවේ ය. මැතිවරණයක් එන විට ප්‍රධාන පක්ෂදෙක හැසිරෙන ආකාරය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. 56 මැතිවරණය එන විට බණ්ඩාරනායකත් සිංහළ පමණයි කියලා වෙනස් කළා. දෙමළ භාෂාට සමතැන දිය යුතුයැයි යාපනයේ දි පැවසූ කොතලාවලත් කොළඹට ඇවිල්ලා සිංහළ පමණයි කියන්නට පටන් ගත්තේ ය. ප්‍රධාන පක්ෂ දෙකම සිංහළ පමණයි ගත්තාම තව මොකද්ද කියන්නට තිබෙන්නේ. අනික් එක මේකේ දී ඉතුරු වුණේ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයත් පමණි. ඉතින් අපි ගුටි කෑවෙමු.
ඒවායෙන් පාඩම් ඉගෙනගන්නේ නැත්නම් යලිත් වරක් මේ අවසනාවන්ත තත්ත්වය එන එක වළක්වන්නට නොහැක. අද ඒ පරම්පරාව නැත. දැන් ඉන්නේ ඒවගේ අළුත් පරම්පරාවකි. පසුගිය ආණ්ඩුව කාලයේ ඉදිරපත්කළ එල්. එල්. ආර්. සී වාර්තාවේ ජාතික ප්‍රහ්නය විසඳිමට හොඳ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.ඒ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සමග ගැටෙන නිසා ඔය කොමිෂන් සභා යෝජනා ක්‍රියාත්මක කරනවා තබා ප්‍රසිද්ධ කරන්නේවත් නෑ. ඒක තමයි අපේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය. මොනවා වුනත් විද්වත් මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන එකක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකට නේ කොමිසන් සභාවලට ඔවුන්ව පත් කරන්නේ. ඉතිං ඒක හරියට ක්‍රියාත්මක උනානම් ඔය ප්‍රශ්න හුගක් එන්නෙ නැහැ. ඒ නිසා අපි මුල ඉඳලාම දිගින් දිගටම එල්. එල්. ආර්.සි. රිපෝට් එකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන ස්ථාවරයේ හිටියේ.
දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවානේ මේ නිසාමයි මෙවැනි ආණ්ඩුවකට ගියේ කියලා. ඒ නිසා ඒක දැන් කළ යුත්තේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ය. 13 වැනි සංශෝධනය ගෙනෙන වෙලාවේ මම තනි මන්ත්‍රීවරයෙක් විදියට 225න් මම තනිවම විපක්ෂයේ ඡන්දය දුන්නා. ආණ්ඩුව යුඑන්පීයේ ද කියල මම බැලුවේ නෑ. මොකක්ද ගේන්නෙ කියලා මම එතන දී බැලුවේ. මට කමක් නැහැ යූඑන්පිය තියා කවුරු ගෙනාවත් මට එකගවෙන්න පුළුවන් නම් මම සහය දෙනවා. ඉතිං විපක්ෂයේ තනි මන්ත්‍රීවරයෙක් විදියට ඒක එදා මම කළා. ඒකේ ප්‍රතිඵලය උඩ මගේ පක්ෂයේ පාක්ෂිකයින් හා නායකයින් 50ක් ජනතා විමුක්ති පෙරමුණ එදා මැරුවා. මාව මරා ගන්න බැරි උනා. ඉතිං ඒකයි උනේ. මේ අවස්ථාව ගිලිහී යන්න ඉස්සර වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරන්න ඕන මේ ගැන. ඉන්පසු ඒ දෙගොල්ල එකතු වෙලා දෙමළ පක්ෂ හා මුස්ලිම් පක්ෂ සමග ද සාකච්ඡා කරන්න ඕන. ඊළගට වමේ අපිට පිටින් ඉන්න කට්ටියේ ද සහයත් ලැබුණාම ආණ්ඩුවට හයියක් වෙනවා. එතකොට අන්තවාදී පැත්තට යන්න ඉඩනොදී ඒකට ඒ අය නායකත්වය දෙන්න ඕන. එහෙම නොකර හිටියොත් වෙන්නෙ වෙන බලවේගයන් මේවා පාවිච්චි කිරීමයි. උතුරෙන් බෝල ගැහුවාම දකුණෙනුත් ගහනවා. ඉතිහාසේ පුරාවටම එහෙම නේ සිද්ධ උනේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *