|

තජුඩීන් ඝාතනයේ සාක්ෂි හිටපු පොලිස්පති වසන් කරලා!

පසුගිය අප්‍රේල් මස 11 වනදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද, රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කර ඇති බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

2012 මැයි මස 17 වන දින සිදුවූ තජුඩීන් ඝාතනය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා, එවක කොළඹ අපරාධ කොට්ඨාශය භාර අධ්‍යක්ෂක රණවීර මහතා ලවා විමර්ශණය කරවා ගෙන්වා ගෙන ඇති අතර එම වාර්තාවේ මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවට පැහැදිලිවම සඳහන් වී තිබී ඇත.

මෙය මිනී මැරුමක් බවට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළ පසු ඒ පිළිබඳව ඉහල පොලිස් නිලධාරීන් ජේෂ්ඨ පොලිස් අධිකාරී දැනට අම්පාර ප්‍රදේශයේ සේවය කරන රණවීර මහතාගෙන් විමසීමේදී ඔහු ස්ථිරවම පවසා ඇත්තේ මෙය රිය අනතුරක් නොව මිනී මැරුමක් බව තම විමර්ශණයේදී හෙලිදරව් වූ බවත් ඒ බව කොළඹ අපරාධ කොට්ඨාශය 2013 දී සකස් කළ වාර්තාවේ ප්‍රකාශිතවම සඳහන් කළ බවත් ඒ මහතා අවධාරණය කොට තිබේ.

එසේ පොලිස්පතිවරයා විසින් ලබාගත් තජුඩීන් ඝාතන වාර්තාව 2013 සිට මේ දක්වා රහසක් වශයෙන් තබා ගත් බව මේ වන විට සනාථ වී තිබේ. ප්‍රසිද්ධ මහින්ද වාදියෙකු වන හිටපු පොලිස්පතිවරයා මෙම වාර්තාව එලිදැක්වුවහොත් රාජපක්ෂ රෙජීමය අපහසුවට පත්වනු ඇතැයි සිතා වාර්තාව සිතා මතාම යටපත්කොට ඇති බව සනාථ වී ඇත.

මෙම ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් එවක නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මේ වන විට රිමාන්ඩ් ගතව සිටින අතර මෙම සතිය තුල නාරාහේන්පිට පොලිස්ස්ථානයේ එවක ස්ථානාධිපතිවරයාද ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

තජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැබෑ ලෙස යුක්තිය ක්‍රියාත්මක වන්නේ නම් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මේ සම්බන්ධයෙන් අපට කරුණු හෙලිකළ ශ්‍රී ලංකා පොලීසියේ ඉහලම නිලධාරීන් සඳහන් කර සිටී.

 

(උපුටාගැනීම lankanewsweb වෙතිනි)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *