කොවිඩ් මරණ හංගන්න ගිය ආණ්ඩුව වැඩි ම මරණ අනුපාතය වාර්තා කරයි !

කොවිඩ් වසංගතයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු තත්ත්වය අඩුවෙන් වාර්තා කිරීමට මරණ සහ ආසාදිත සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරන ආණ්ඩුව එම සංඛ්‍යා මගින් ලෝකයේ ඉහළ ම කොවිඩ් මරණ අනුපාතිකය වාර්තා කොට කොළේ ඉරාගෙන සිටින බව සෞඛ්‍ය සේවයේ තතුදත් ආරංචි මාර්ග කියයි. ඔවුන් කියන්නේ මෙය නොදන්නා පිරිසක් කළ අපරිණත වැඩ වල ප්‍රතිඵලයක් බවයි.

කොවිඩ් මරණ සංඛ්‍යා සහ නව ආසාදිත සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරමින් සිටින ආණ්ඩුව පසුගිය දින කිහිපයේ දිනකට මරණ 150 – 160 ක ප්‍රමාණයක් සහ දෛනික ආසාදිත සංඛ්‍යාව ලෙස 3000 – 3200 පමණ ප්‍රමාණයක් වාර්තා කොට තිබිණි. මෙම සංඛ්‍යා අනුව මරණ අනුපාතය වන්නේ සියයට 5 කට ආසන්න අගයකි. ලෝකයේ සාමාන්‍ය අගය සියයට 1.4 ක් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ලෝකයේ සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයක් ඉක්මවා ගොස් ඇත. එය බරපතළ තත්ත්වයකි.

මෙහි සත්‍ය තත්ත්වය නම් ආණ්ඩුව කොවිඩ් මරණ සහ නව ආසාදිත යන සංඛ්‍යා දෙක ම අඩුවෙන් වාර්තා කරන අතර නව ආසාදිත සංඛ්‍යාව දැක්වීමේ දී විශාල ලෙස අඩුවෙන් පෙන්නුම් කර තිබීමයි.

උදාහරණ ලෙස පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ අගෝස්තු 1 සහ 9 දින අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ නව ආසාදිත සංඛ්‍යාව 12,500 ක් පමණ වනවිට නිල වාර්තා වල සටහන් වුයේ 3000 ක් පමණ බව යි. පසුගිය දවස් කිහිපයේ රටේ ම නව ආසාදිතයින් 3000 ක් වාර්තා කරන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිත සංඛ්‍යාව 2000 ක් පමණ වීය.

එමෙන් ම ආසාදිතයින්ගේ පළමු පෙළ අශ්‍රිතයින් පවා කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීම ආණ්ඩුව නවතා දම ඇත. එම පරීක්ෂා කළේ නම් නව ආසාධිත සංඛ්‍යා තවත් විශාල ලෙස ඉහළ යනු ඇත.

පසුගිය දිනවල සත්‍ය කොවිඩ් මරණ සංඛ්‍යාව ද 250 ඉක්ම වූ බව වෛද්‍ය සංගම් ප්‍රකාශකයකු ප්‍රකාශ කොට තිබිණි.

රෝගයේ සත්‍ය වාර්තා ලබා ගන්නේ නම් වසංගතය බරපතළ ලෙස ව්‍යාප්ත වී ඇති ආකාරය හෙළිදරව් වන නමුත් ආණ්ඩුවේ අසත්‍ය වාර්තා මගින් පෙන්නුම් කරන ඉහළ මරණ අනුපාතිකය නොපෙන්වනු ඇති බව සෞඛ්‍ය අංශයේ විශේෂඥයෝ කියති.

විශේෂඥයන් කියන්නේ මෙය ආණ්ඩුවේ අපරිණත වැඩ නිසා කර ගත තවත් කකුල කටේ දා ගැනීමක් බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *