ගෑස් මරාලය – අනුර සූරියබණ්ඩාර

ලාෆ් ගෑස් ලොකු සිලින්ඩරයක මිල රුපියල් 363/-කින් ඉහළ නංවා තිබේ.ඒ අනුව කිලෝ ග්‍රෑම්  12.5 සිලින්ඩරයක මිල රුපියල් 1856/- දක්වාද කිලෝ ග්‍රෑම් 05 ⁣ලාෆ් පොඩි ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743/- දක්වාද ඉහළ යනු ඇත. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියන්නේ ලාෆ් මිල ඉහළ නැඟුනද ලිට්රෝ ගෑස් මිල නොවෙනස්ව පවතින බවය.අලගියවන්න ගේ ප්‍රකාශය තව⁣  දින ⁣කීයකට වලංගු වනු ඇත්දැයි කියන්නට නොහැකිය. මෙතෙක් මෙරටෙහි කටයුතු සිදුවණු ආකාරය අනුව අනුමාන කළ හැකි වන්නේ කසකරු පිටුපස පෙරහැර එන්නා සේ ලාෆ් මිල පිටුපස ⁣ලිට්රෝ ගෑස් මිල වැඩිවීමක් ද පැමිණෙනු ඇති බවය. ලිට්රෝ ගෑස් මිල එසේම පැවතියා වුව එමගින් ලාෆ් ගෑස් පාරිභෝගිකයාට සිදුවන්නේ බලවත් අසාධාරණයකි.එනම් ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන් තම ගෑස් සිලින්ඩරයට අඩු මිලක් ගෙවද්දී ලාෆ් පාරිභෝගිකයාට එම ගෑස් ප්‍රමාණයටම වැඩි මිලක් ගෙවන්නට සිදු වීමය . තත්ත්වය බරපතළ වන්නේ ලාෆ් සිලින්ඩරයට ලිට්රෝ හුවමාරු කරන්නට ද නොහැකි නිසාය.
ගෑස් සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත අනුව පෙනෙන්නේ ආණ්ඩුව පාරි⁣භෝගිකයන් පිළිබඳ සිතනවාට වඩා ව්‍යාපාරිකයන්ට බර තබා කටයුතු කරන පිළිවෙතක පිහිටා කටයුතු කරන බවය.ආසන්නතම සහ හොඳම නිදසුන වී මිල සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කළ ආකාරයයි. මෙතෙක් ආණ්ඩුවෙන් වී සඳහා නියම කෙරුණේ අවම මිලකි. එහිදී සිදුවූයේ රජය නියම කරන මිලට අඩුවෙන් වෙ⁣ළෙන්දන්ට වී මිලදී ගත නොහැකි වීමය .නමුත් මෙවර ආණ්ඩුවෙන් නියම කර ඇත්තේ උපරිම මිලකි . එනම් ඒ මිල ඉක්මවා වී මිලදී ගැනීමෙන් වෙළෙන්දා වළකා තිබේ. අවම මිලක් නියම කළ විට ඒ මිලට අඩුවෙන් මිලදී ගැනීමට වෙළෙන්ඳාට නොහැකි නමුත් ඊට වැඩි මිලක් ගෙවීමට ඉඩ ඇති බැවින් තරගකාරී මිලකට තම අස්වැන්න විකුණා ගැනීමේ අවස්ථාව වී ගොවියාට උදාවිය .වත්මන් ආණ්ඩුවේ තීරණය හේතුවෙන් තරගකාරී මිලකට අස්වැන්න විකුණා ගැනීමේ අවස්ථාව ගොවියාට අහිමි විය .මෙරට වී ගොවියා ඇතුළු සියලුම ගොවියන් මේ වන විට සිටින්නේ බලවත් අපහසුතාවකට ලක්ව බව අමුතුවෙන් කිය යුතු නැත. හේතුව පසුගිය කන්නයේ වගාව සඳහා ඔවුනට අවශ්‍ය තරමට රසායනික පොහොර නොමැති වීමය. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව  පොහොර නොමිලයේම ලැබෙනු ඇත යන්න ගොවියන්ගේ විස්වාශය විය . ඊට බලපෑ එක් හේතුවක් වන්නේ යහපාලන ආණ්ඩුවේ පොහොර පිළිවෙතට වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියදී එල්ල කළ විවේචන සහ විරෝධතාය. අනෙක පොහොර සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් මැතිවරණ සමයේ දුන් බලාපොරොත්තුය. සියල්ල බිඳවැටී අවසානයේ ගොවියාට පොහොර නොමැති විය .පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්න අඩු විය.දැන් ලැබුණු අස්වැන්නටත් නිසි මිලක් නැත . ගොවියා කබලෙන් ලිපට වැටුණා සමානය.
ආණ්ඩුව කියන්නේ වී මිල පාලනය ක⁣ළේ සහල් මිල පාලනය සඳහා බවය. එහෙත් මේවන තෙක් සහල් මිලෙහි අඩු වීමක්ද නැත . ⁣ඒ අනුව ගොවියා පමණක් නොව පාරිභෝගිකයාද අසීරුතාවට පත්ව සිටිති. ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාටම බඩේපාර ගසා ආණ්ඩුව සහල් මෝල් හිමියා ආරක්ෂා කර තිබේ.
සීනි සම්බන්ධයෙන්ද ආණ්ඩුව අනුගමනය කළේ ජාවාරම්කාරයන්ට හිතවත් ප්‍රතිපත්තියකි.බිලියන ගණනින් ව්‍යාපාරිකයන්ට  බදු සහන සහන දුන් නමුත් පාරිභෝගිකයාට අඩු  මිලට සීනි ලැබුණේ නැත.තොරතුරු අනුව කියැවෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ වංචාවක් සීනි බදු සහනයෙන් සිදුව ඇති බවය.ගැටලුව වන්නේ රිෂාඩ් ගේ නිවෙසේ මියගිය දැරිය සම්බන්ධයෙන් දක්වන උනන්දුව වත් මහා පරිමාණ සීනි බදු වංචාව ගැන⁣ සොයන්නට කිසිවකු නොදැක්වීමය.ගෑස් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කර ඇත්තේද පාරිභෝගිකයා බිලිදී ව්‍යාපාරිකයා බේරාගැනීමේ පිළිවෙතකි. ලාෆ් ගෑස් සමාගම මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවටත් එම සමාගම සහ ආණ්ඩුව අතර හිතමිත්‍ර සබඳතා ඇති බවටත් තම ව්‍යාපාරික හිතවතා ගලවා ගැනීමට ආණ්ඩුව උපක්‍රම සොයමින් සිටින බවටත් පසුගිය සමයේ තොරතුරු වාර්තා විය.ගෑස් මිල ඉහළ නැංවීමට දුන් අවසරයද ඒ උපකාරයේම කොටසක් වන්නටද පුළුවන .ආණ්ඩුවේ තීරණයේ වන්දිය ගෙවන්නට සිදුව ඇත්තේ පාරිභෝගිකයාටය. දැන් පාරිභෝගිකයාට ලාෆ් සිලින්ඩරය තම බෙල්ලේ එල්ලූ මරාලයක් වී තිබේ .ලාෆ් සිලින්ඩරය නිසා වෙනත් සිලින්ඩරයකට මාරුවිය නොහැකිය .එසේ මාරුවීමට නම් වෙනත් සිලින්ඩරයක් අලුතින් මිලදීගැනීමට  මුදල් ගෙවිය යුතුය.එසේ මිලදී ගත්තාය කියා ලාෆ් සිලින්ඩරයට වියදම් කළ මුදල නැවත ලැබෙන්නේද නැත. කළ හැකි එකම දෙය ලාෆ් සිලින්ඩරය පුටුවක් වෙනුවට පාවිච්චි කිරීම පමණි. අනෙක ලාෆ් සිලින්ඩරය තිබියදී ලිට්රෝ සිලින්ඩරයක්ද මිලදී ගැනීමද අවධානම් සහගත වන්නේ ලිට්රෝ මිලද කොයි මොහොතේ හෝ ඉහළ යා හැකි බැවිනි . ලාෆ් ගෑස් හිගය ආරම්භ වූ කාලයේ ලාෆ් සිලින්ඩරයට ලිට්රෝ පුරවන්නට කතා කළ ලිට්රෝ සභාපති සොයා ගන්නටද නැත. දැන් ගෑස් පාරි⁣භෝගිකයන්ට සිදුව ඇත්තේ වැඩකරන විරුවා ගැන බලාපොරොත්තු තැබූ හැටනම ලක්ෂය සමඟ එක්ව දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නටය.

අනුර සූරියබණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *