තමිලන් පුවත්පතේ කර්තෘ සිවරාජ්  සොයා පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කරන්න -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිගෙන් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යයි කියමින් රාත්‍රී කාලයේ තමිලන් පුවත්පතේ කර්තෘවරයා සොයා පැමිණි කණ්ඩායම කවුදැයි වහාම පරීක්ෂා කොට හෙළිදරව් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

එම සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ මෙසේ සඳහන් වෙයි.

තමිලන් පුවත්පතේ කර්තෘ සිවරාජ්  සොයා පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීම.

පොලිස්පතිතුමනි,

තමිලන් (Thamilan) නම් දෙමළ මාධ්‍ය පුවත්පතේ කර්තෘවරයා වන ආර් සිවරාජ්  පදිංචිව සිටින ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයට අගෝස්තු 12 අළුයම 2. 30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි හඳුන්වා දුන් සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බවට ඔහු විසින් ඔබතුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ගේට්ටුව විවෘත කර තමන්ට කතුවරයා පදිංචි නිවාස ඒකකය වෙත යෑමට ඉ‌ඩ දෙන ලෙස එම පුද්ගලයන් දිගින් දිගටම ඉල්ලීම් කළ ද, නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව සිවරාජ් මහතා අප වෙතද පවසා ඇත.

මෙම සැක කටයුතු පුද්ගලයන් කවුරුන්ද, ඔවුන් කතුවරයා සොයා මෙවැනි අළුයම් කාලයක පැමිණියේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කර, ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත්, කතුවරයාගේ ජීවිත  ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් වහා පිළියම් යොදන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වශයෙන් අපි ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,

විශ්වාසී,

සීතා රංජනී     

කැඳවුම්කරු                                                             

ලසන්ත ද සිල්වා

ලේකම්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *