පෞද්ගලික අංශයේ පී සී ආර් , ඇන්ටිජන් නවත්තන්න ආණ්ඩුව ලෙඩ දමයි ! රෝගීන් හඳුනාගැනීම අඩුකරන උත්සාහයක් ?

කොවිඩ් රෝග මර්දනය සඳහා ආණ්ඩුව කළ යුතු බොහෝ දේ තිබිය දී පෞද්ගලික අංශයෙන් කරන පී සී ආර් සහ අන්ටිජන් පරීක්ෂණ අධෛර්යමත් කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවත්, පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීම එහි එක පියවරක් බවත්, පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශ කියයි.

රජය පරීක්ෂණ සීමා කොට රෝගීන් ප්‍රමාණය අඩුකොට පෙන්වීමට උත්සහ කරන නිසා, තමන්ට හෝ තම ඥාතියකුට කොවිඩ් ඇත්දැයි තහවුරු කර ගැනීමට ජනයාට දැන් ඇති එක ම මග වී ඇත්තේ පෞද්ගලික රෝහල් වලින් එම සේවය ලබා ගැනීම යි. බොහෝ කලක් එයට ඉඩ නොදුන් ආණ්ඩුව අවසානයේ ඉඩ දුන්නේ ද බලවත් මහජන ඉල්ලීම් නිසා ය.

තම කීර්ති නාමය සහ ගුණාත්මක බව ගැන සැලකිලිමත් වන ප්‍රධාන පෞද්ගලික රෝහල් තම සේවා සඳහා උසස් තත්ත්වයේ පරීක්ෂණ කට්ටල භාවිත කරන අතර ඒවා තරමක් මිල අධික බව කියති. වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග එම මිල ගණන් ද වැඩි වෙමින් පවතියි. කෙසේ වෙතත්, ප්‍රමිතිය ගැන විශ්වාසයක් නැති අඩු මිල පරීක්ෂණ කට්ටල භාවිත කර තම කීර්ති නාමයට හානි කර ගැනීමට ප්‍රධාන පෞද්ගලික රෝහල් කැමති නැත.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුව මිල පාලනයක් පනවන්නේ මෙම සේවා කඩා කප්පල් කිරීමට බව පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශවල විශ්වාසය යි.

කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අඩු කොට වසංගතයේ සැබෑ ව්‍යාප්තිය වසන් කිරීම මෙම උත්සාහයේ අරමුණ බව කියති.

ආණ්ඩුව ඇත්තටම ජනතාව ගැන සිතන්නේ නම් කළ යුතු වන්නේ රජය මගින් කරන කොවිඩ් පරීක්ෂණ පහසුකම් මහජනයාට පහසුවෙන් ලබා ගත හැකි වන සේ පුළුල් කිරීම බව ඔවුහු කියති.

අන්ටිජන් පරීක්ෂාවක් සඳහා රුපියල් 2000 ක් සහ පී සී ආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 6500 ක් උපරිම මිලක් නියම කළ ගැසට් නිවේදනය අද නිකුත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *