කොවිඩ් ඩෙල්ටා වසංගතයේ දරුණු ම තත්ත්වය එන්නේ ඉදිරියට යි. මරණ හිතන්න බැරි තරම් ඉහළ යාවි – හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

රට අද මුහුණ දෙන තත්ත්වය ගැන තමන් මෙන් ම විශේෂඥ වෛද්‍ය වරුන් ද මසකට පෙර සිට කී දේ ආණ්ඩුව නොපිළිගත් නිසා රට අද දරුණු විපතකට මුහුණ දී ඇති බවත්, මෙම ව්‍යසනයේ බරපතළ තත්ත්වය ඇත්තේ තවත් ඉදිරියට බවත්, විශේෂඥයන් කියන ආකාරයට එහි දී ඇතිවන මරණ සංඛ්‍යාව හිතාගත නොහැකි තරම් ඉහල යා හැකි බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ  ය.

මේ වනවිට සියලු රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බවත්, බරපතළ රෝගියකුටවත් ඇඳක් ලබාගත නොහැකි බවත්, කී සේනාරත්න මහතා ඉදිරියේ දී ඇතිවන තත්ත්වය අතිශයින් බිහිසුණු බව ද පැවසීය.

මේ සියල්ලට ජනාධිපති කාර්ය සාධක බලකාය වගකිව යුතු බවත්, එම බලකාය වෙනුවෙන් කතා කිරීමට හමුදාපතිට අයිතියක් නැති බවත් කියූ හිටපු ඇමතිවරයා ඒ ගැන කතා කළ යුත්තේ ජනාධිපතිතුමා බව ද ප්‍රකාශ කළේ ය.

ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම්වලට එන සෞඛ්‍ය අංශ නිලධාරීන්ට සිදුව තිබෙන්නේ වාඩි වී බලාගෙන සිටීමට පමණක් බවත්, තීරණ ගන්නේ වෙනත් පිරිසක් බවත්, රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *