කාබනික කියා කොළේ වසා රසායනික පොහොර ගෙන්න කැබිනට් අනුමැතිය

ලබන මහා කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යයට ප්‍රකාශ කළ ද ගෙන්වන්නට සැලසුම් කොට ඇත්තේ රසායනික පොහොර බව තතු දත් ආරංචි මාර්ග කියයි.

කැබිනට පත්‍රිකවේ සඳහන් වන්නේ මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර දේශීය වශයෙන් ලබාගත නොහැකි නිසා පිටරටින් පොහොර ගෙන්වීමට ටෙන්ඩර් කැඳවන බව සහ කැබිනට් මණ්ඩලය පත්කරන කමිටුවක අනුමැතිය යටතේ අවශ්‍ය පොහොර ගෙන්වන බව යි. ගෙන්වන්නේ කාබනික පොහොර බවට කිසිදු සඳහනක් එම කැබිනට් තීරණයේ සඳහන් නැත.

ශ්‍රී ලංකාවේ පවතින භෝග නිරෝධායන නීති අනුව කාබනික පොහොර ගෙන්වීමේ හැකියාවක් ද නැති බව එම ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් මේ වනවිට නිර්දේශ කොට ඇති පොහොර වර්ග තුනක් මේ යටතේ අනිවාර්යයෙන් ගෙන්වීමට නියමිත බව කියති. එනම්, නයිට්‍රිජන් , පොස්පරස් සහ පොටෑසියම් ය. මෙයින් පොස්පරස් සහ පොටෑසියම් ඛනිජ ලෙස හැඳින්වුව ද ඒවා පැහැදිලිව ම රසායනික වෙයි. ශාක හා සත්ව මුලයන්ගෙන් සාදන කාබනික පොහොර සමග ඒවා කිසිසේත් සමාන කළ නොහැකි ය.

කාබනික නයිට්‍රජන් ගැන ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයන් කතා කළ ද, එලෙස පොහොර නිපදවීම විශාල පරිමාණයෙන් කළ නොහැකි අතර වියදම් අධික බව කියති. මේ වනවිට ලෝකයේ නයිට්‍රජන් පොහොර නිපදවනු ලබන්නේ වාතයේ නයිට්‍රිජන් සමග ස්වභාවික වායු ප්‍රතික්‍රියා කරවන රසායනික ක්‍රියාවලියක් මගිනි. ලෝක වෙළෙඳ පොළෙන් මිල දී ගත හැක්කේ මෙම රසායනික නයිට්‍රජන් පොහොර යි.

එමෙන් ම, නයිට්‍රිජන් පසට ලබාදෙන යුරියා පොහොරවලට වඩා රසායනික නයිට්‍රිජන් පොහොර ඉතා මිල අධික බව ද කියති.

මෙම පොහොර වලට අමතර වශයෙන් යුරියා පොහොර ද ,ඇතැම් පලිභෝද නාශක ද , යම් ප්‍රමාණයක් ගෙන්වන්නට අනිවාර්යයෙන් සිදුවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *