ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට යළි අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය පෙර තිබුණු පරිදිම රක්නා ආරක්ෂක ලංකා සමාගමට සහ ඇවන්ගාඩ් සමාගමට යළි ලබාදීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශ ද සමඟිනි.

එහිදී නීතිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ වාණිජ නෞකා සඳහා ආරක්ෂක සේවා සැපයීමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම අතර ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය නීතියට පටහැණි නොවන බවය.

1950 අංක 34 දරණ ( සංශෝධිත) ශ්‍රී ලංකා නාවික හමුදා පනතේ ප්‍රතිපාදන අනුව නාවික හමුදාවට වාණිජමය කටයුතුවල නිරත වීමට අවසර ලබාදී නොමැති බවත් නීතිපතිවරයා පෙන්වා දී ඇති බව සඳහන්.

එසේ තිබියදී මෙම සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීමේ වාණිජ ව්‍යාපෘතිය සහ පාවෙන අවි ගබඩාව 2015 වසරේදී රජයට අයත් නාවික හමුදාව යටතට පවරා ගැනීම කිසිදු නීතියකට අනුකූල නොවන අතර කිසිදු නීතියකට අනුව සාධාරණීකරණය කළ නොහැකි බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව රජයට සහ රජයට අයත් සමාගමක් වන රක්නා ලංකා සමාගමට ගිවිසුම් කඩකිරීම මත නඩු කටයුතුවලට මුහුණ දීමට සිදුවනු ඇති අතර ගිවිසුම කඩවීම හේතුවෙන් රක්නා ලංකා සමාගම ඇවන්ගාඩ් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවීමට සිදුවීම වළක්වා ගැනීම සඳහාත් ඇවන්ගාඩ් සමාගම තමන්ට රුපියල් බිලියන 21ක පාඩුවක් සිදුව ඇති බවට ආරක්ෂක ලේකම්වරයා වෙත යවා ඇති එන්තරවාසිය අනුව ඉදිරි නීතිමය කටයුතු සිදුවීම වළක්වා ගැනීමට සඳහාත් අදාළ ව්‍යාපෘතිය එම සමාගම වෙත යළි ලබාදීමට නීතිපතිවරයා නිර්දේශ කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අනුව නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සමුද්‍ර ආරක්ෂණ ව්‍යාපෘතිය පෙර පරිදි පවත්වාගෙන යෑමට රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගම්වලට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

LANKANEWSWEB

*************************

LANKANEWSWEB මෙසේ කියයි

මෙම සමුද්‍රාරක්ෂණ ව්‍යාපෘතිය නාවික හමුදාව වෙත පවරා ගැනීම නීතිවිරෝධී බවත් රටක නිල හමුදාවක සාමාජිකයින්ට වාණිජ නෞකාවලට ආරක්ෂාව සපයමින් වෙනත් රටක දේශ සීමාවකට ඇතුළු වීමට ජාත්‍යන්තර නීතියෙන් අවසරයක් නොමැති නිසා නාවික හමුදාවට මෙම ව්‍යාපෘතිය එහි සම්පූර්ණ ඵලදායීත්වය ලැබෙන පරිදි කරගෙන යෑමට නොහැකි බවත් ලංකා නිව්ස් වෙබ් අපි 2015 වසරේ පටන්ම පෙන්වා දුන්නෙමු. තාර්කික කරුණුවලට වඩා හැඟීම්බර දේශපාලනික කරුණු වඩාත් ජනප්‍රිය වන බැවින් අප පෙන්වා දුන් සත්‍යය බොහෝ අය එදාත් පිළිගත්තේ නැත. එහෙත් නීතිමය පදනම යනු කවදා නමුත් තහවුරු වීමට නියමිත යතාර්ථයයි.

ඒ අනුව රටට විදේශ විනිමය හිඟවීම නිසා බොහෝ අර්බුද මතුවෙමින් පවතින මොහොතක මෙම සමුද්‍ර ආරක්ෂණ ව්‍යාපෘතිය පෙර තිබුණු පරිදිම කරගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අවසරය ලබාදීම යහපත් තීරණයකි. ඔවුන්ට ඇමරිකන් ඩොලර් මිලියන ගණනාවක ආදායමක් වාර්ෂිකව රටට උපයාදීමට හැකිවනු ඇත. එම ඩොලර් ආදායම නාවික හමුදාවට ඉපයිය හැකි එකක් නොවේ.

එසේම කොවිඩ් වසංගත තත්වය හමුවේ නොයෙක් ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතුව සිටි උදවියට පවා රැකියාවන් අහිමිවෙන තත්වයක් යටතේ ඇවන්ගාඩ් සමාගමට මෙම ව්‍යාපෘතිය යළි කරගෙන යෑමට අවසර ලබාදීම තුළ සේවකයින් 6000කගේ රැකියා සුරක්ෂිත වනු ඇත. රටේ පවුල් 6000ක ආර්ථිකය ශක්තිමත් වනු ඇත. එහි වටිනාකම අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.

වෙනත් ඕනෑම රජයකට මෙන්ම වත්මන් රජයටත් එල්ල කළයුතු විවේචන කොතෙකුත් ඇති බව පැහැදිලිය. නමුත් ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂණ සේවාව යළි පවත්වාගෙන යෑමට අවසර ලබාදීමේ තීරණය නම් එසේ විවේචනයට භාජනය වියයුතු එකක් නොවේ. එය පැහැදිලිවම නිවැරදි තීරණයකි. එය රටටත් ජනතාවටත් පැහැදිලිවම ප්‍රතිලාභ ලැබෙන තීරණයකි.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *