රට ඉදිරියේ තියෙන්නේ “ඩෙල්ටා බෝම්බයක්’’; දිනපතා දවසට තුන් වරක් ඉඟුරු කොත්තමල්ලි බොන්න – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

කොවිඩ් වසංගතයේ දී, මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර “ඩෙල්ටා බෝම්බයක්” බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කොට ඇත.

එමෙන් ම, මරණ වලක්වා ගැනීමට කොවිඩ් එන්නත් ලබාගන්නා ලෙසත්, විටමින් සී සහිත පලතුරු ආහාරයට ගන්නා ලෙසත්, දිනකට තුන් වරක් ඉඟුරු කොත්තමල්ලි දිනපතා පානය කරන ලෙසත්, ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

අද මෙරට මුහුණ දී ඇති ආකාරයේ ඩෙල්ටා බෝම්බ ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ පුපුරා ගිය බවද හෙතෙම සඳහන් කොට ඇත.

එම බෝම්බයේ විනාශය අත්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය පවතින්නේ ජනතාව අත බවත්, ජනතාව සංචරණ සීමා කර සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් එම බෝම්බය තමන්ගේ නිවෙස්වලටද පැමිණිය හැකි බවත්, ඔහු අනතුරු ඇඟවා තිබේ.

රට වසා සංවරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් කරන ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබීම ගැන ඇමතිවරයා කිසිවක් නොකියයි.

ශරීර ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා විටමින් සී බහුල පලතුරු ආහාරයට ගැනීම වැදගත් බවත් විටමින් සී පෙති හැටියටද දිනපතා ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම ඉඟුරු කොත්තමල්ලි දිනපතා දවසට තුන් වරක් සීනි නොදා පානය කිරීමද ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා වැදගත් වන බව චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පවසයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *