ඉහළ මට්ටමක මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

 මුල්‍යමය ආකර්ෂණයට නැතහොත් අඩු මිලට ලබා දෙන වැදගත්කම අඩු කරමින් ඒ ටී කර්නි සමාගම ගෝලීය සේවා ස්ථාන දර්ශකය එන වසරේ නැවත ක්‍රමාංකනය කරන විට ශ්‍රී ලංකාව පළමුවැනි 25 අතරින් පහතට වැටීමට නිසැක බව දෙසතියකට පෙර මම ලියුවෙමි. ශ්‍රී ලංකාව පළමු 25 තුළ සිටින්නේ ප්‍රධාන වශයෙන් ම අප සපයන සේවාවල මිල අඩුකම නිසා ය. අපගේ දුර්වලතාව වන්නේ ශ්‍රම බලකායේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බව යි.

වගුව 1 : තෝරාගත් ආසියානු රටවල 2021 GSLI ශ්‍රේණිය සහ තෝරාගත් සංරචක ලකුණු

සමස්ත ශ්‍රේණිය මානව  කුශලතා සහ ලබාගැනීමේ හැකියාව මුල්‍යමය ආකර්ශනීය බව ඩිජිටල් ප්‍රතිනාදය ජනගහණය (දශ ලක්ෂ)
ඉන්දියාව 1 2.18 2.83 0.91 1,366
මැලේසියාව 3 1.26 2.49 0.83 32
ඉන්දුනීසියාව 4 1.26 2.78 0.83 270
වියට්නාමය 6 1.20 2.77 0.68 96
පිලිපීනය 9 1.32 2.82 0.67 108
තායිලන්තය 10 1.24 2.46 0.69 69
ශ්‍රී ලංකාව 23 0.86 2.99 0.53 21
පාකිස්ථානය 31 1.09 2.90 0.55 217
බංගලි දේශය 33 1.04 2.84 0.49 216

මුලාශ්‍රය : ඒ ටී කර්නි, ගෝලීය සේවා ස්ථාන දර්ශකය 2021 සහ එ ජා ලෝක ජනගහණ අපේක්ෂා 2019

සමස්ත ශ්‍රේණියෙන් ශ්‍රී ලංකාව පකිස්ථානයට සහ බංගලි දේශයට ඉදිරියෙන් සිටින නමුත් මානව සම්පත් කුශලතා සහ ලබාගැනීමේ හැකියාව අතින් එම රටවල් දෙකට ම පිටුපසින් සිටින බව 1 වගුව මගින් පෙන්නුම් කෙරෙයි. මෙය එම රටවල විශාල ජනගහන ප්‍රමාණය සහ එහි ප්‍රතිඵලයක් ලෙස තොරතුරු තාක්ෂණ කුශලතා සහිත විශාල පිරිසක් සිටීමේත් බලපෑම මත සිදුවුවා විය හැකි ය. එමෙන් ම ඩිජිටල් ප්‍රතිනාදය අතින් අප ඉදිරියෙන් සිටින්නේ බංගලා දේශයට වඩා පමණකි. ඇත්තෙන් ම, අප රට ඉදිරියෙන් සිටින්නේ මුල්‍යමය ආකර්ෂණය අතින් පමණකි. දැනට එයට බර තැබීම සියයට 35 කි. කෙසේ වෙතත්, ලබන වසරේ බර තැබීම් නැවත ක්‍රමාංකණය කළ විට මෙය එතරම් වැදගත් නොවනු ඇත.

ශ්‍රම බලකායේ ඩිජිටල් කුශලතා ශක්තිය, ඩිජිටල් නිෂ්පාදන, සමාගම් ක්‍රියාකාරීත්වයේ ප්‍රමාණය, බුද්ධිමය දේපළ සඳහා ඇති නීතිමය ආරක්ෂාව, සහ ව්‍යාපාර ක්‍රියාකාරීත්වයේ වෙනත් අංග පිළිබිඹු වන සියයට 15 ක් වන ඩිජිටල් ප්‍රතිනාදය නම් නව සංරචකයක් ඒ ටී කර්නි විසින් මෑතදී හඳුන්වා දී තිබුනි. ගුණාත්මක භාවය වඩාත් වැදගත් වෙමින් පවතින බවට වන ඔවුන්ගේ නිගමනය නිසා ඩිජිටල් ප්‍රතිනාදයට දෙන බරතැබීම සියයට 15 සිට 60 දක්වා වැඩි කරනු ලබන අතර මුල්‍යමය ආකර්ෂණයට සහ මානව සම්පත්වල කුශලතා සහ ලබාගැනීමේ හැකියාවට දෙන බරතැබීම එකිනෙකට සියයට 10ක් දක්වා  අඩු කර ඇත. ඒ අනුව සහෝදර රටවල් සියල්ලේ ශ්‍රේණි පහත වැටෙන අතර ඉන්දියාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව පමණක් ඉහළ ම 25 තුළ රැඳෙන්නට ඉඩ ඇත.

කළ හැක්කේ කුමක් ද?  

පසුපසට යන අයට තරඟයේ ඉදිරියට එන්නට නැවත හැකි වන්නේ කෙලෙස ද?  ඉහළ ම ස්ථාන තුනට අලුතින් පත්වන රටවල් තුන, එනම් , එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ සිංගප්පුරුව දෙස බැලු විට යම් අදහසක් ලැබෙනු ඇත.

වගුව 2  : ඩිජිටල් අංශයේ පෙරමුණේ සිටින  රටවල 2021 GSLI ශ්‍රේණිය සහ තෝරාගත් සංරචක ලකුණු

  සමස්ත ශ්‍රේණිය මානව කුශලතා සහ ලබා ගැනීමේ හැකියාව මුල්‍යමය ආකර්ෂණය ඩිජිටල් ප්‍රතිනාදය ජනගහණය (දශ ලක්ෂ )
එක්සත් ජනපදය 7 2.39 0.40 1.15 329
එක්සත් රාජධානිය 8 1.93 0.85 1.11 67
සිංගප්පුරුව 38 1.42 0.55 1.10 6

මුලාශ්‍රය : ඒ ටී කර්නි, ගෝලීය සේවා ස්ථාන දර්ශකය 2021සහ එ ජා ලෝක ජනගහණ අපේක්ෂා 2019

ඩිජිටල් ප්‍රතිනාදය අනුව  සිංගප්පුරුව, එක්සත් රාජධානියට සමාන වීමට ඉතා ආසන්න තත්ත්වයක සහ එක්සත් ජනපදයට කිට්ටු තත්ත්වයක සිටියි. ශ්‍රී ලංකාව සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි. මෙම සංරචකයට ඉහළ බරතැබීමක් කිරීමට යන බැවින් එය නොතකා හැරීමට කිසිදු රටකට නොහැකි වනු ඇත.  ඩිජිටල් ප්‍රතිනාදය තුළ විශාලතම අංගය වන සහ මානව කුශලතා සහ ලබාගැනීමේ හැකියාව මත බලපෑමක් ඇති, ඩිජිටල් කුශලතා වර්ධනය කිරීමට බොහෝ දේ කිරීම අවශ්‍ය වෙයි.

කෙසේ වෙතත්, කෙටි කාලීනව මෙය පහසු වන්නේ නැත. නිර්මානාත්මක ආර්ථිකයක් සඳහා සිංගප්පුරුවේ සැලසුම ක්‍රියාවට නගන ලද්දේ 2006 තරම් ඈත කාලයේ සිට ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2010 දී ඉදිරිපත් කරන ලද කේන්ද්‍ර පහක් පිලිබඳ යෝජනාව විග්‍රහ කල ලිපියක මා භාවිත කල එම 2006 අය වැය කතාවේ උදෘතයක් නැවත උපුටා දක්වමි.

“සිංගප්පුරුව, විවිධාකාර වූ පසුබිම් සහ සංස්කෘති  සහිත ගෝලීය දක්ෂයින් සතුටින් ජීවත්වන ස්ථානයක් විය යුතු ය. එක්සත් ජනපදයෙන් පිටත පළමුවැනි සහ එකම ලුකස් සිනමා ශබ්දාගාරය ජෝර්ජ් ලුකාස් විසින් සිංගප්පුරුවේ පිහිටුවන ලද්දේ අර්ධ වශයෙන් අපගේ විශ්වවාදී ආයාචනය හේතුවෙනි. පසුගිය වසරේ ඔක්තෝබරයේ ශබ්දාගාරය විවෘත කරන විට, එහි පළමු සජීවීකරණ ශිල්පීන් 35 දෙනා පැමිණියේ පැනමාව සහ ඉක්වදෝරය ඇතුළු රටවල් 19 කිනි.  අපගේ රට ආකර්ශනීය, සජීවී, සහ විනෝදකාමී “උද්‍යාන නගරයක්” බවට පත් කිරීමට ඒකාබද්ධ නිවාඩු නිකේතන සහ සිංගප්පුරු පියාසැරිය වැනි නව ආකර්ෂණයන් සංවර්ධනය අපි දිගට ම කරන්නෙමු. දක්ෂතා ඇති පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට අමතරව අපි අපගේ ජනතාවගේ කුශලතා වර්ධනය කිරීම සඳහා ද අවශ්‍ය ආයෝජනයන් කරන්නෙමු. අපේ සිසුන්ට ප්‍රාථමික මට්ටමේ සිට තෘතියික මට්ටම දක්වා අවස්ථා සපයන්නෙමු.  අපගේ සිසුන්ගේ විවේචනාත්මක චින්තන කුශලතා සහ නිර්මාණාත්මක භාවය වර්ධනය කිරීමට අපගේ පාසල් උත්සාහ දරමින් සිටියි.”

මෙම අදහස් ක්‍රියාත්මක කොට ඇති ආකාරය මෑත කාලීන ප්‍රවෘත්ති වාර්තා මගින් පෙන්නුම් කරයි. හෙක්ටයාර් 50 ක පුන්ගෝල් ඩිජිටල් දිස්ත්‍රික්කය සඳහා  ප්‍රධාන සැලසුමක් 2018 සිට ක්‍රියාත්මක කොට ඇත. 2009 දී මෙහෙයුම් ආරම්භ කළ සිංගප්පුරු තාක්ෂණික ආයතනයේ (Singapore Institute of Technology) සිසුන් 10,000ක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 500ක් දිස්ත්‍රික්කය තුළ සිටිනු ඇත. මේ මාසයේ දී, ජාත්‍යන්තර සමාගම් හතරක් ඩිජිටල් දිස්ත්‍රික්කය තුළ තමන්ගේ ආයතන ඇරඹීමේ සැලසුම් තහවුරු කළ අතර එමගින් දත්ත විශ්ලේෂකයන් සහ විසඳුම් ඉංජිනේරුවන්ගේ සිට කෘතීම බුද්ධි සහ බ්ලොක්චේන් සංවර්ධකයින් දක්වා පරාසයක රැකියා 2,000ක් නිර්මාණය වනු ඇත. සයිබර් ආරක්ෂක සමාගමක් ද පැමිණීමට නියමිතයි.

ලක්ෂ හැටකට අඩු ජනගහනයක් සිටින රටක් පුළුල් විශේෂඥතා පරාසයක් සහිත රැකියා 2,000ක් පිරවීමට අවශ්‍ය විශේෂඥයින් සොයාගන්නේ කෙසේ ද? තිබෙන විශ්ව විද්‍යාලවලට දුර්වල නොකර නව මණ්ඩපයට අවශ්‍ය ඉහළ ගුණාත්මක බවකින් යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලයකට 500 දෙනෙක් සපයා ගන්නේ කෙසේ ද? මුල් සැලසුමේ දී ම ප්‍රකාශයට පත් කළ පරිදි, පිළිතුර වන්නේ ගෝලීය දක්ෂතාවන්ට විවෘත වීම යි. තමන්ගේ කුඩා ජනගහණ පදනම මත දේශීය දක්ෂතා මත පමණක් රැඳෙන්නට සිංගප්පුරුව තීරණය කළේ නම් , එහි මානව කුසලතා ලබා ගැනීමේ හැකියා ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවට හිමි 0.86 ලකුණු මට්ටමට කිට්ටුවෙන් පැවතීමට බොහෝ දුරට ඉඩ ඇත.

වගුවට ජනගහණ තීරුව එකතු කරන ලද්දේ කුඩා රටවල් මුහුණ දෙන අභියෝග පෙන්නුම් කිරීම සඳහා ය. මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින සමාගම් බොහොමයක අවශ්‍යතා සැපයිය හැකි වන විශාල තරුණ පිරිසක් අපගේ තරඟකාරී රටවල් බොහොමයක සිටිති. සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට දේශීය දක්ෂතා මත පමණක් රැඳී සිටීම කළ නොහැකි ය. ගෝලීය වශයෙන් සේවා ලබා ගැනීමට විවෘත වීමට ඔවුන්ට සිදුවෙයි. සිංගප්පුරුව එය සිදුකොට සමෘද්ධිමත් වී ඇත. ශ්‍රී ලංකාව එය නොකර ප්‍රස්ථාරයෙන් ඉවතට වැටෙමින් පවතියි.

ඉන්දියාව සමඟ ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුමක් සඳහා මුල් සාකච්ඡවේදී, තොරතුරු තාක්ෂණික වෘත්තිකයින් සඳහා විවෘත කිරීමට යෝජනා කිරීම ගැන මට බෙහෝ විවේචන එල්ල  විය. ආරක්ෂණවාදීහු ජයගත්හ. අඩු මිල බී පී එම් ව්‍යාපාර මත විශ්වාසය තැබූ ශ්‍රී ලංකාව මේ වන විට අමාරුවට වැටෙමින් සිටියි. සිංගප්පුරුව සයිබර ආරක්ෂණ සහ දත්ත විශ්ලේෂණ සමාගම් සහ ඉහල මට්ටමේ රැකියා ආකර්ෂණය කර ගනිමින් සිටියි. අපගේ තොරාගැනීම්වල ප්‍රතිවිපාක පැහැදිලි වෙමින් පවතියි.

මහාචාර්ය රොහාන් සමරජීව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *