අධ්‍යාපන සටන යන පාර හරිද ? – අනුර කේ එදිරිසූරිය 

ගුරු විදුහල්පති අරගලයට මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇත .අරගලයට හේතුව වසර විසි ගණනක් පුරා ඇදෙන වැටුප් විසමතාවක් වුව මේ වන විට එම අරගලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සමඟද ගැටගැසී තිබේ . කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හේතුවෙන් මෙරට නිදහස් අධ්‍යාපනයට බලවත් තර්ජනයක් එල්ල වන බව විරෝධතාකරුවන්ගේ මතයයි. කොතලාවල පනත මගින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මිලිටරිකරණය වීම බරපතළ තත්වයක් බව පිළිගත යුතුය . එහෙත් පෞද්ගලික අධ්‍යාපනය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් නිදහස් අධ්‍යාපනය විනාශ වන්නේය යන තර්කයෙහි ගැටලුවක් තිබේ .

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටින්නන් කටයුතු කරන ආකාරය අනුව පෙනෙන්නේ , ඔවුන් නිදහස් අධ්‍යාපනය සහ⁣ නොමිලයේ අධ්‍යාපනය පටලවාගෙන කටයුතු කරන බවයි .

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනීසිටින්නන් කටයුතු කරන ආකාරය අනුව පෙනෙන්නේ , ඔවුන් නිදහස් අධ්‍යාපනය සහ⁣ නොමිලයේ අධ්‍යාපනය පටලවාගෙන කටයුතු කරන බවයි .

නිදහස් අධ්‍යාපන⁣ය අනුව සිදුවිය යුත්තේ , කිසිවකුට තමන්ගේ කැමැත්ත පරිදි කැමැති විෂයයක් ඉගැනීමට අයිතිය ලබා දීමයි . පවතින වාතාවරණය තුළ දරුවකුට තම කැමැත්ත අනුව තමන් කැමැති විෂයක් නිදහස්ව ඉගෙනීමට හැකියාවක් නැත . එයට ⁣එක් හේතුවක්

වන්නේ පාසල් පද්ධතිය තුළ පවතින ඇති නැති පරතරයයි .නිදසුනක් වශයෙන් කොළඹ , ගම්පහ වැනි දිස්ත්‍රික්කවල පාසල් පද්ධතිය සහ පහසුකම් ඉහළ මට්ටමක පවතින බවට මතයක් තිබුණද එම දිස්ත්‍රික්කවලද පාසල් කිහිපයක් හැරුණුවිට අනෙක්වා දුගී දුප්පත්ය .

කන්නන්ගර පිළිවෙත අනුව එතෙක් ධනවත් පිරිසට පමණක් සීමා වී තිබුණු මෙරට අධ්‍යාපනය දුප්පතුන්ගේ දරුවන්ටද විවෘත කෙරිණ . එය ඒ ඓතිහාසික  මොහොතට සාපේක්ෂව විප්ලවකාරී කටයුත්තක් බවට තර්කයක් නැත .නමුත් මේ මොහොතේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ කන්නන්ගර ප්‍රතිපත්තිය කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යනු මැදහත් සිතින් කල්පනා කර වටහා ගත යුතුය .

මේ වන විට මෙරට පාසල් පද්ධතිය ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන ( කුජීත ) යනුවෙන් වර්ග දෙකකට බෙදී තිබේ . ජනප්‍රිය නම් ලද පාසල් සම්බන්ධයෙන් ගත් කල ඒවාහි  අධ්‍යාපනය නිදහස්ද යනු ගැටලුවකි . විභාගවලින් ඉහළ සුදුසුකම් ලබාගත්තද සාමාන්‍ය මවුපියන්ගේ දරුවකුට ඒවාට ඇතුළත් වීම පහසු නැත . එවැනි පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීම ඇතැම් වි⁣ට රුපියල් ලක්ෂ ගණනින් මිල නියම වන කටයුත්තක් නිසාය .තවත් අතකින් එම පාසල්වලට ඇතුළත් වීම දේශපාලන හයිහත්තිය අනුවද තීරණය වන්නකි .නිදසුනක් වශයෙන් එක් කාලයක කාල්ටන් පෙර පාසල්වල දරුවනට කොළඹ උසස් පාසල්වල දොර විවෘත වීම සඳහන් කළ හැකිය .

තවත් අතකින් ,  ජනප්‍රිය යැයි පැවසෙන පාසලක⁣ට උසස් පෙළ සඳහා වෙනත් පාසලකින් ඇතුළත් වන්න⁣ට අපේක්ෂා කරන සිසුවකුට සාමාන්‍ය පෙළ A 09 ක් වැනි ඉහළ සුදුසුකමක් පෙන්වන්නට සිදුවේ . එය කිසිසේත්ම අධ්‍යාපනයේ අවශ්‍යතාව මත නොව පාසල්වල ඉඩකඩ ප්‍රශ්නය මත ගොඩනැඟී ඇති තත්ත්වයකි .නිදසුනක් ලෙස මේ වන විට මෙරට උසස් පෙළ සඳහා ඉහළම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂා කෙරෙන ජීව විද්‍යා , ගණිත වැනි විෂයන් හැදෑරීමට  විද්‍යාව , ගණිතය වැනි විෂයන්ගේ නිපුණතාව අපේක්ෂා කිරීම සාධාරණ නමුත් ඊට ආගම , භාෂාව , වැනි විෂයන් වලටත්  A සාමාර්ථ ඉල්ලා සිටින්නේ නම් කවර නිදහස් අධ්‍යාපනයක්ද ?  එම ඉල්ලීම අධ්‍යාපනයේ අවශ්‍යතාව අනුව කෙරෙන්නක් නොව පාසල් පද්ධතියේ නොහැකියාව වසා ගන්නට ගොඩනඟා ගත්තකි.

විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත් කල නිදහස් අධ්‍යාපන සංකල්පය හුදු මිථ්‍යාවක් පමණි. පළමු කොටම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන්නේ ඊට සුදුසුකම් ලබන පිරිස අතුරින් තෝරා පෙරා ගනු ලබන අතිශය සීමිත පිරිසකි . හේතුව විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සහ ඉඩකඩ නොමැතිකමයි . විසඳුම් වශයෙන් මේ වන විට ඉසෙඩි ස්කෝර් ක්‍රමය නමින් පෙරහන් කඩක් භාවිත කෙරේ . පෙනෙන ආකාරය අනුව එයට ශිෂ්‍ය සංගම් ඇතුළු කිසිවකුගේ විරෝධයක් නැත.

ඉසෙඩ් ස්කෝර් ක්‍රමය හේතුවෙන් වැඩි පහසුකම් සහිතයැයි වර්ගීකරණයට ලක්වුණු දිස්ත්‍රික්කවල දක්ෂ සිසුනට බලවත් අසාධාරණයක් සිදුවෙමින් පවතී . කොළඹ ගම්පහ වැනි දිස්ත්‍රික්කවල වැඩි ලකුණු ගත් සිසුන් ගෙදර සිටියදී මොණරාගල වැනි දිස්ත්‍රික්කයක අඩු ලකුණු ගත් සිසුනට විශ්වවිද්‍යාල දොර ඇරේ .ඉන් වැඩි ලකුණු සහිත සිසුනගේ අධ්‍යාපන නිදහස බිඳ වැටෙන  නමුත් ශිෂ්‍ය සංගම් ආදිය කටයුතු කරන්නේ ඉසෙඩ් ස්කෝර් ක්‍රමය සර්වතෝභද්‍රය යන අදහසකින් මෙනි .

යම් අයකුට මුදල් නොමැතිකම හේතුවෙන් අධ්‍යාපන අයිතිය අහිමි වන්නේනම් එතැන නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් තිබේ .එසේම , සුදුසුකම් සහිත අයකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇති ඉඩ ඇහිරීමද නිදහස් අධ්‍යාපනයට අදාළ ගැටලුවකි .මේ වන විට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන්නන් පෙනී සිටින්නේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිටින අයගේ අයිතීන් වෙනුවෙන් පමණි . අවම සුදුසුකම් සපුරා ඇතත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමිවී සිටින පිරිසගේ අයිතිය ඔවුන්ගේ සටනින් බැහැර කර තිබේ .

යම් අයකුට මුදල් නොමැතිකම හේතුවෙන් අධ්‍යාපන අයිතිය අහිමි වන්නේනම් එතැන නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් තිබේ .එසේම , සුදුසුකම් සහිත අයකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇති ඉඩ ඇහිරීමද නිදහස් අධ්‍යාපනයට අදාළ ගැටලුවකි .මේ වන විට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන්නන් පෙනී සිටින්නේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිටින අයගේ අයිතීන් වෙනුවෙන් පමණි . අවම සුදුසුකම් සපුරා ඇතත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමිවී සිටින පිරිසගේ අයිතිය ඔවුන්ගේ සටනින් බැහැර කර තිබේ .

රටේ සියලු දරුවනට නිදහස් අධ්‍යාපන අයිතිය ලැබිය යුතු නමුත් රටේ සියලුම දෙනාට නොමිලයේ අධ්‍යාපනය ලබාදීම එතරම් සාධාරණ නැත .පවතින ක්‍රමය යටතේ සිදුවන්නේ මිලමුදල් යහමින් සතු හෝ ඉහළ වැටුප් හෝ ආදායම් සහිත පිරිසකගේ දරුවන්  සුපිරි පාසල්වල වැඩි පහසුකම් සහිතව නොමිලයේ ඉගෙනුම ලබන අතර අඩු ආදායම් සහිත පිරිසගේ දරුවන් අවම මූලික පහසුකම් හෝ නොමැතිව අධ්‍යාපනය ලැබීමය . දෙපිරිසගේම අධ්‍යාපනය නඩත්තු කෙරෙනුයේ ජනතාවගේ බදු මුදලිනි .අධ්‍යාපන පහසුකම්වල ඇති නැති පරතරයක් තිබුණද බදු අයකෙරෙන්නේ එකම හැන්දෙනි .

වත්මන් සමාජයේ බහුතරය නිදහස් අධ්‍යාපනයේ පල ලැබූවන්ය . රජයෙන් නොමිලයේ අධ්‍යාපනය ලැබ විවිධ මට්ටමේ රැකියාවල නියුතුව සිටින ඔවුහු ඒ සඳහා වැටුප් ලබති . ඒ අතර දරුවන්ටද නොමිලයේම උගන්වා ගනිති .ඔවුන්ද උගෙන රැකියා කරමින් රජයෙන් වැටුප් ලබමින් නොමිලයේ දරුවන්ට උගන්වා ගනිති .මේ චක්‍රයේ කිසිදාක නැවතුමක් නැත .පාසල් පද්ධතිය සම්බන්ධයෙන් ගත් කල ඇති හැකි අයගේ පාසල්වල පහසුකම් යම් පමණකින් හෝ වැඩි දියුණු වන නමුත් දුප්පත් දරුවන්ගේ පාසල් වැසීයාමේ තර්ජනයට ලක්වී තිබේ . මේ සටන් කරමින් සිටින්නේ ඒ ආකාර විකෘත ” නිදහස් අධ්‍යාපනයක් ” රැකගැනීම වෙනුවෙනි . ඇත්ත ගත හොත් නිදහස් අධ්‍යාපනයක් හෝ අධ්‍යාපන නිදහසක් හෝ මෙරට නැත . ඒ වෙනුවට නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් කෙරෙන දැවැන්ත සූරාකෑමක් පවතී.පවතින ක්‍රමය යටතේ සටන් කරන්නන්ගේ පළමු සටන් පාඨය විය යුත්තේ ” අධ්‍යාපනයේ පවතින ඇති නැති පරතරය අහෝසි කරවු ! ” යන්නය .නමුත් ඔවුන් දිවිහිමියෙන් සටන් කරමින් සිටින්නේ නැති ” නිදහස් අධ්‍යාපනයක් ” ආරක්ෂාකර ගැනීමටය .

කවුරුන් කෙසේ කීවද පෞද්ගලික ටියුෂන් පංති, පෞද්ගලික පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක්ද මෙරට ක්‍රියාත්මකය .අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහි අයම පෞද්ගලික ටියුෂන්වලට විරුද්ධ නැත .රජයෙන් වැටුප් ලබන අතර පෞද්ගලික පංති පවත්වන ගුරුවරුන් ව්ශාල පිරිසක්ද ඒ අතර සිටිති .

පෞද්ගලික පාසල් මවුපියන් සහ දරුවන් යනු මෙරට දරුණු ලෙස සූරාකෑමට ලක්වන පිරිසකි . ආණ්ඩුවටත් බදු ගෙවමින් පෞද්ගලික මුදලින් තම දරුවනට අධ්‍යාපනය ලබාදීමට ඔවුනට සිදුව ඇති බැවිනි .පෞද්ගලික පාසල්වලට දරුවන් යොමුකර සිටින බහුතරය එසේ කරන්නේ මුදල් යහමින් ඇති නිසා නොව දරුවනට සුදුසු පාසලක් නොමැති නිසාය .

මෙරට පෞද්ගලික පාසල් සියල්ලම පාහේ ක්‍රියාත්මක වන්නේද අධ්‍යාපන ආයතන වශයෙන් නොව හුදු ව්‍යාපාරික මධ්‍යස්ථාන වශයෙනි .ඒවාහි ගුරුවරුනට රැකියා සුරක්ෂිතතාවක් නැත, නිසි වැටුපක් ලැබෙන්නේ නැත .එසේ හෙයින් නිතර ගුරුවරුන් වෙනස් වේ . අධ්‍යාපනයේ ක්‍රමවත් බවක් නැත . අධ්‍යාපන නිදහස වෙනුවෙන් පෙනීසිටින්නන් පෞද්ගලික පාසල් විධිමත් කරන්නට හෝ නියාමනයක් සඳහා හෝ මැදිහත් නොවන්නේ නිදහස් අධ්‍යාපනය නමැති මිථ්‍යාව කෙරෙහි ඔවුන් දැඩිව ඇලී සිටීම හේතුවෙන් සහ එවැනි සටන් පාඨවලට ඇති බියමුසු සැකය නිසාය .නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් පාඨ කියමින්ම තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කරන මවුපියන්ද සිටිති .  පෞද්ගලික අධ්‍යාපනය ලබන දරුවන් සහ ඔවුන්ගේ මවුපියන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන්නන් හමුවේ පිටස්තරයන් පිරිසක් බවට ,  පත්ව තිබේ  .

අධ්‍යාපන නිදහස වෙනුවෙන් පෙනීසිටින්නන් පෞද්ගලික පාසල් විධිමත් කරන්නට හෝ නියාමනයක් සඳහා හෝ මැදිහත් නොවන්නේ නිදහස් අධ්‍යාපනය නමැති මිථ්‍යාව කෙරෙහි ඔවුන් දැඩිව ඇලී සිටීම හේතුවෙන් සහ එවැනි සටන් පාඨවලට ඇති බියමුසු සැකය නිසාය .නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් පාඨ කියමින්ම තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කරන මවුපියන්ද සිටිති .  පෞද්ගලික අධ්‍යාපනය ලබන දරුවන් සහ ඔවුන්ගේ මවුපියන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන්නන් හමුවේ පිටස්තරයන් පිරිසක් බවට ,  පත්ව තිබේ  .

ණයට ගෙන ණය ගෙවන රටක පාලකයන්ගෙන් අධ්‍යාපනය සඳහා මෙයට වැඩි පිරිවැයක් දරනු අපේක්ෂා කළ නොහැකිය . හොඳම සමාජවාදී රජයකට හෝ මෙරට සුබසාධනවාදී රාජ්‍යය තව දුරටත් මේ ආකාරයෙන් පවත්වාගෙන යාහැකි වනු ඇතැයි බලාපොරොත්තු වන්නටද නොහැකිය . ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ මත පිහිටා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු වන්නේ එහෙයිනි .පවතින අධ්‍යාපන ගැටලුව සඳහා නිසි නියාමනයකින් යුතු පෞද්ගලික පාසල් ජාලයක් ( රාජ්‍ය හෝ ව්‍යාපාරික  ) මගින් විසඳුම් සෙවිය යුතු කාලය දැන් පැමිණ තිබෙි. ආදායමේ තරම අනුව ගෙවා ඉගෙනගන්නා ක්‍රමයක් ඒ සඳහා ගැලපෙන විසඳුමක් වනු නිසැකය . මුදල් නොමැති සිසුනට ශිෂ්‍යත්ව ක්‍රම ආදිය එහිදී හඳුන්වා දිය හැකි වනු ඇත .ලැබෙන ආදායම පාසල් පද්ධතියේ දියුණුව⁣ සඳහා යෙදවිය හැකිය .එසේ නොවන්නේ නම් දැනටමත් සිදුවෙමින් පවතින ආකාරයට පෞද්ගලික පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් නිදහස් අධ්‍යාපනයේ සිසුන් යටපත් කර දැමෙනු ඇත .  ආණ්ඩුවේ  සිසුනට සිදුවනු ඇත්තේ පෞද්ගලික  සිසුන් යටතේ සේවය කරන්නටය .

අනුර කේ එදිරිසූරිය

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *