ෆේල් වුණේ ස’ර් විතරක් නොවේ ; ජාතිවාදී, ආගම්වාදී, බහුතරවාදී, පැරණි සමාජවාදී මතවාදය ෆේල් – හිටපු ඇමති  මංගල සමරවීර  

ස’ර් ෆේල් යන්න දැන් සැම  දෙනාම දන්නා කතාකරන කාරණයක් බවත්, එසේ වුව ද, ස’ර් නොව ෆේල් වුණේ ස’ර් බලයට ගෙනා ජාතිවාදී, ආගම්වාදී , බහුතරවාදී, පැරණි  සමාජවාදී මතවාදය බවත්,  හිටපු  ඇමති මංගල සමරවීර මහතා අද ප්‍රකාශ කළේ ය.

නිදහස ලැබූ දා සිට අවුරුදු 73 ක් තිස්සේ මෙරට දේශපාලඥයන් බොරු දේශප්‍රේමය විකුණා ජීවත් වූ බවත්, විපක්ෂ ද එයම කළ බවත් කී ඇමතිවරයා ඒ දෙක ම දැන් ෆේල් වී ඇති බව පැවසීය.

සැබෑ දේශප්‍රේමියෝ සංවිධානය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. නව රැඩිකල් දේශපාලන ගමනක් අවශ්‍ය බවත්, එය හෙට නොව අද ම ආරම්භ කළ යුතු බවත්, ප්‍රකාශ කළ ඒ මහතා මෙසේ ද පැවසීය .

“අද ෆේල් වෙලා තියෙන්නේ ස’ ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි.

කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්.

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිස, ආදේශකයක් නෙවෙයි.

ප්‍රමාද වී හෝ අපේ රටට අනාගතයක් හදන්නටනම්,  මේ ඉන්න තරුණ තරුණියන්ට ජීවත්වෙන්නට පුලුවන් හෙට දවසක් සඳහා අත්තිවාරමක් දාන්නට නම්, දැන්වත් අපි සැබෑ දේශප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියටම හඳුනා ගමු.

ඒ ගැන සංවාදයක් ආරම්භ කරමු. රට ආර්ථික වශයෙනුත් දේශපාලන වශයෙනුත් ජයගන්නේ කොහොමද කියලා සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සාකච්ඡා කරමු.

එපමණක් නොව ළිංගෙඹි මානසිකත්වයෙන් මිදිලා, අපි අපේ රටේ දරුවන් වෙනුවෙන් ලෝකය ජයගන්නේ කොහොමද කියලා සැලසුම් කරමු. අපේ රටේ දියුණුව, ආරක්ෂාව, ස්වෛරීභාවය ගැන විතරක් නෙවෙයි, අපේ දරුවන්ට අනාගතයේදී උරුම වෙන රටේ හැඩරුව ගැනත් අපි කතා කරමු.

ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් නොවී ලෝකය එක්ක අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කළ යුතුම මොහොත මේ මොහොතයි.

හෙට නෙවෙයි, ලබන අවුරුද්දේ නෙවෙයි, ඊළඟ ඡන්දෙදි නෙවෙයි, අද – අදම, දැන් – දැන්ම, මග හරින්නේ නැතුව අපි ඒ කතිකාව ඇරඹිය යුතුයි.

ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැබෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි.

මේ අසීරු මොහොතේ අපේ රටට, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහෝදරත්වය සහ විවිධත්වය මත පදනම් වූ එකමුතුකම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ විකල්ප මතවාදයක් අවශ්‍යයි.

පරිසරය, ගස්කොළං, සතා සීපාවා ආරක්ෂා කරන මතවාදයක් අවශ්‍යයි.

”සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” කියන පිළිවෙත කටපාඩමෙන් කියන වචනවලට විතරක් සීමා නොවන ක්‍රියාවෙන්ම ඉටු කරන මතවාදයක් අවශ්‍යයි.

1948 දී අපිට නිදහස ලැබුණත්, නව නිදහස් රාජ්‍යයට අත්තිවාරමක් දමන්නට බැරිවීම මහා විනාශයට හේතුවයි.

ශ්‍රී ලංකාව කියන මාලිගාව ඉදි කරන්නට සෑම රජයක්ම උත්සාහ කරේ අත්තිවාරමක් නැති බිමකය. අත්තිවාරමක් දාන්නේ නැතුවය.

ඒ නිසාම හදන හදන තට්ටුව කඩා වැටිලා වසර 73 ක් තිස්සේ අපි හදලා තියෙන්නේ අහසේ මාළිගා විතරයි.

ඒ නිසා දැන්වත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් සැබෑ දේශප්‍රේමී මතවාදයක් කරා ගමන් කරමු.

සමාජ මාධ්‍යජාලා තුළින් අපි සමග එක් වෙන ලෙස අපි සියලු සැබෑ දේශප්‍රේමීන්ට ආරාධානා කරනවා.

මේ අසීරුම තැන සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සීරුවෙන් සිටිය යුතුම මොහොතයි.”

මෙම මාධ්‍ය හමුවේදී භාග්‍යා වීරකෝන්  (සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකා) , ෂෙහාන් මාලක ගමගේ (සිවිල් ක්‍රියාකාරික), සුවා ෆාරුක් (ශිෂ්‍ය), සුමීර ගුණසේකර  (සමාජ මාධ්‍ය ක්‍රියාකාරික), තිළිණි වාසනා (දේශපාලන ක්‍රියාකාරික), රවි දෙනවක (තරුණ ව්‍යවසායක), අරුණ වෙන්කටේෂ්බ (දුල්ල හාලිඇළ ප්‍රාදේශිය සභාවේ ස්වාධීන නියෝජිත), කෞෂික විතානගේ (තරුණ ව්‍යවසායක), අමන්දා මෙලනි ලියනගේ – (LGBTIQ ප්‍රජා නියෝජනය), නීතිඥ නාලක සමරකෝන්,

රාජ්කුමාර් රාජීව්කාන්ත් (ගණකාධිකාරි), ජයනි අබේසේකර (ජනමාධ්‍යවේදී / මානව හිමිකම් ක්‍රියාකාරිකා) සහ චින්තන ධර්මදාස (Faculty of Sex) ද අදහස් දැක්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *