චීන සමාගමෙන් හදන අධිවේගී මගට ඉඩ දෙන්න පරිසර නීතිය වෙනස් කරයි ! ගැසට් පත්‍රය මුද්‍රණයේ !

චීන සමාගමක් මගින් ඉදිකොට මෙහෙයුම් කොට පැවරීමේ ( BOT ) පදනම මත ඉදිකිරීමට යන අතුරුගිරිය සිට කැළණි පාලම දක්වා අධිවේගී මාර්ගයට ඉඩ දීම සඳහා තලංගම තෙත්බිම් ප්‍රදේශ පරිසර ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කොට කලින් නිකුත් කොට තිබු ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පරිසර අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට මුද්‍රණය සඳහා යවා ඇති මෙම නව ගැසට් නිවේදනය මගින් ඉහත කී ව්‍යාපෘතියට ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශයට අයිතිවන තලංගම ඇවරිහේන වැව අසල කලාපය පරිසර අධි ආරක්‍ෂිත කලාප තත්ත්වයෙන් මුදාහැරීමට කටයුතු කොට ඇත.

කොළඹ අවට මෙම තෙත්බිම් කලාපය පරිසර අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කොට පරිසර අධිකාරිය විසින් 2007 වර්ෂයේ නිකුත් කොට ඇති ගැසට් නිවේදනය මෙමගින් සංශෝධනය කෙරෙයි. 2007 ගැසට් නිවේදනයට අනුව මෙම ප්‍රදේශයේ අවසර ඇත්තේ කුඹුරු වගාව , ධිවර කර්මාන්ත සහ ස්වභාවික මංපෙත් ආදියට පමණකි. ඒ අනුව මෙම භුමිය හරහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම තහනම් කටයුත්තකි.

කෙසේ වෙතත්, කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගී මාර්ගය මෙම භුමිය හරහා ඉදි කිරීමට රජය චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සමග මේ වනවිටත් ගිවිසුම් අත්සන් කොට හමාරය. ඒ අනුව ඉදිකොට වසර 15 කින් මාර්ගය ශ්‍රී ලංකාවට පැවරිය යුතු ය.

මෙය BOT පදනමෙන් ඉදිකරන බව කීව ද, එයට ඩොලර් මිලියන 65 ක වාර්ෂික ගාස්තුවක් වසර 15 ක් තිස්සේ ගෙවීමට රජය ගිවිස ගෙන ඇතැයි ද, ඒ අනුව මෙය BOT ව්‍යාපෘතියක් නොවන රටට බරක් වන ව්‍යාපෘතියක් බව ද, සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කොට තිබිණි.

කෙසේ වෙතත්, රජය ප්‍රකාශ කොට ඇත්තේ චීන සමාගමට දුන් කොන්ත්‍රාත්තුව අනුව ක්‍රියාත්මක වන බව යි.

මෙම නව ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ ඒ සඳහා ඇති පාරසරික බාධා ඉවත්කිරීම සඳහා ය. ඒ අනුව මෙම භුමිය තව දුරටත් පාරිසරික ආරක්‍ෂිත කලාපයක් වන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *