“බැසිල්ගේ හොර සල්ලි පනත ව්‍යවස්ථාවට පටහැනියි” : එරාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කළු සල්ලි සුදු කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට ඇති පනත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත්, තීන්දු කරන ලෙස ඉල්ලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

මෙම පනතේ 2,3,4,5, සහ 6 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එමගින් පෙන්වා දී ඇත. නීති විරෝධී ලෙස උපයාගත් ධනය ඉතා සුළු බදු මුදලක් ගෙවා නීත්‍යනුකුල කර ගැනීමට එම වගන්ති මගින් ඉඩ සලසා ඇත.

මෙයින් නීත්‍යනුකුල ලෙස බදු ගෙවමින් මුදල් උපයාගෙන ඇති අයට විශාල අසාධාරණයක් සිදුවන බවට වික්‍රමරත්න මහතගේ පෙත්සමෙන් කරුණු දක්වා ඇත. මෙය හිතුවක්කාර, අයුක්ති සහගත, අසාධාරණ, නීතියේ ආධිපත්‍යයට සම්පුර්ණයෙන් පටහැනි, සහ  ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන පනතක් බව එමගින් පෙන්වා දෙයි.

ඒ අනුව මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සමග කියවෙන 12(1) සහ 14(1) වගන්තිවලට පටහැනි බව පෙත්සම මගින් කියයි.

මේ අතර මෙම පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ද තවත් පෙත්සමක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.

මෙම පෙත්සම් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *