සජබ ගෙනා විශ්වාස භංගයට එජාප, දෙමළ සන්ධාන, ජවිපෙ ඡන්ද නැහැ!

 

සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති, හෙට විවාදයට ගන්නා  විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ  ඡන්ද නොලැබෙන්නට ඉඩ ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.

මෙම විශ්වාස භංග යෝජනාව සමස්ත ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් නොකර එක් ඇමතිවරයකුට එරෙහිව පමණක් ඉදිරිපත් කිරීමත්, එය ඉදිරිපත් කිරීමේ දී, සමස්ත විපක්ෂයේ අදහස් ලබා නොගෙන එක පක්ෂයක මතය පමණක් මත අනෙක් පක්ෂ නොසලකා කටයුතු කිරීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව කියති.

විශ්වාස භංගය ඉදිරපත් කිරීමේ දී සමගි ජන බලවේගයේ ඇතැම් කුඩා පක්ෂ ද නොසලකා හැර ඇති බවත් ඔවුන් ද ඒ පිළිබඳව කලකිරීමෙන් සිටින බවත් දැනගන්නට ඇත.

විපක්ෂය එක්සත්ව විශ්වාස භංගය ඉදිරියට ගෙනයාමට සජබ ප්‍රධානීන් උත්සාහ දරමින් සිටින නමුත් එම උත්සාහය මේ දක්වා සාර්ථක වී නැති බවත් අපගේ ආරංචි මාර්ග කියයි.

ගම්මන්පිල ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සමස්ත ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් ලෙස සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් ප්‍රකාශ කොට ඇත.

දෙමළ ජාතික සන්ධානය, සහ ජනතා විමුක්ති පෙරමුණ තම ස්ථාවරය තවමත් ප්‍රකාශ කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *