තනි කාබනික ගොවිතැන බැරි බව විශේෂඥයෝ කියති ; රසායනික සමග දෙමුහුන් ක්‍රමයක් තීන්දුයි !

කෘෂි රසායනික නොමැති සම්පුර්ණ කාබනික ගොවිතැනක් කළ නොහැකි බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පත් කළ කෘෂිකර්ම විශේෂඥයන්ගේ ද මතය වී ඇති අතර ඔවුන්ගේ නිර්දේශ මත කාබනික සහ රසායනික යොදාගත් දෙමුහුන් ක්‍රමයක් ක්‍රියාවට නැගීමට දැන් කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම  නිර්දේශ අනුව වී, එළවළු හෝ වෙනත් වගාවන්ට කාබනික පොහොර යෙදීමට පෙර එම පොහොරට විදේශයෙන් ගෙන්වන නයිට්‍රජන් පොහොර යොදා සකස් කර ගත යුතු බව නිර්දේශ කොට ඇත. එලෙස නයිට්‍රජන් යෙදු පොහොර ‘සුපෝෂිත කාබනික පොහොර’ ලෙස හඳුන්වා තිබේ.

එමෙන් ම මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර වී ඇතුළු සියලු වගා සඳහා යෙදිය යුතු බව නිර්දේශ කොට තිබේ. කාබනික පොහොර මගින් වගාවට අවශ්‍ය පොටෑසියම් ලබාගත නොහැකි වීම එයට හේතුවයි.

මෙම නිර්දේශ කෘෂිකර්මයේ අන්තර්කාලීන මාර්ගෝපදේශ ලෙස අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ප්‍රකාශයට පත්කොට තිබේ.

නයිට්‍රජන් යෙදු සුපෝෂිත කාබනික පොහොර වගාවේ මුල් අවස්ථාවේ පමණක් යෙදීමටත් , පසුකාලීනව මියුරියේට් ඔෆ් පොටෑෂ් සහ දියර නයිට්‍රජන් පොහොර කෙලින් ම වගාවට යෙදීමටත් මෙමගින් නිර්දේශ කොට තිබේ.

එමෙන් ම , කෘමි වුවදුරු සහ රෝග සඳහා සාර්ථක කාබනික විසඳුම් නැති බැවින් ඒ සඳහා අවශ්‍ය විෂ පලිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙන්වා අවශ්‍ය පරිදි බෙදා හැරීමට තීරණය කොට ඇති අතර මේ වනවිටත් අර්තාපල් වගාවට අවශ්‍ය විෂ පලිබෝධනාශක ගෙන්වා වරායේ ගබඩාකොට ඇති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙරේදා ප්‍රකාශ කළේ ය.

එමෙන් ම පොල් වගා රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ පොල් වගාව සඳහා මියුරියේට් ඔෆ් පොටෑෂ් ගෙන්වීමට ජනාධිපතිතුමාගේ අවසරය ලබාගත් බවයි.

එමෙන් ම, නයිට්‍රජන් පොහොර ගෙන්වීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වනවිටත් මිල ගණන් කැඳවා ඇති බව ද වාර්තා වී ය.

පසුගියදා මෙරටට ගෙන්වීම තහනම් කළ යුරියා යනු මිනිසුන්ගේ සහ සතුන්ගේ ශරීර තුළ ද නිපදවෙන කාබනික රසායනයකි.

දැන් ගෙන්වන්නට යන නයිට්‍රජන් පොහොර සැලකෙන්නේ අකාබනික රසායනිකයක් වශයෙන් බව කියති.

කෙසේ වෙතත්, කෘෂිකර්මය තනිකර කාබනික කිරීමේ සිහිනය අවසන් වී ඇති අතර දැන් ක්‍රියාවට නගා ඇත්තේ ඇතැම් රසායන ද්‍රව්‍ය ඉවත්කොට වෙනත් රසායනික යොදා ගැනීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *