|

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම හරහා ආර්ථික සටන ජයගත හැකිද? – කීර්ති ගොඩිගමුව

පුන්‍ය ආයතන හා ලාබ නොලබන ආයතන හැර අනෙක් සියලු වාණිජ ව්‍යාපාර ආයතන ලාබ ලබාගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවාගනු ලැබූ ආයතන වේ. මේ හැර යම් සේවාවක් සැපයීමට අරමුණු කරගෙන රජය විසින් පිහිටවනු ලැබූ ආයතන පවා  වාණිජ පදනමක් මත පිහිටුවා තිබීමෙන් පෙනී යන්නේ, ලාබ ලබාගැනීමේ හෝ අඩුතරමින් වියදම පියවා ගැනීමේ අරමුණ මෙහි ගැබ්ව ඇති බවයි. සෑම ව්‍යාපාරික ආයතනයකට ම, එය පුද්ගලික වුව ද , රජයේ වුව ද,  බොහෝ සමානකම් ඇත. එනම්, ඒවායේ පදනම එක හා සමාන ය. සරල ම උදාහරණය ලෙස හිමිකරු විසින් පවත්වාගෙන යන වෙළෙඳසැලක් හෝ වැඩපොළක් සැලකිය හැකි ය. එහි හිමිකරු හා සේවකයා ද එක ම පුද්ගලයෙකි. ව්‍යාපාරය විශාල වන විට එහි කටයුතු එක් පුද්ගලයකුට සිදුකළ නොහැකි හෙයින් එහි සේවාව සඳහා බාහිර පුද්ගලයින් යෙදවීමට සිදුවේ.

ලියාපදිංචිකිරීමේ පිළිවෙළ අනුව තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස ද, සමාගම් ලෙස පුද්ගලික සමාගම් හෝ පොදු සමාගම් වශයෙන් ද, පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපිත සංස්ථා, අධිකාරි හෝ මණ්ඩල ලෙස ද මේවා වර්ග කළ හැකි ය. මේ වර්ගීකරණය පදනම්ව ඇත්තේ අදාළ ව්‍යාපාරයේ ප්‍රාග්ධන හිමිකරුවාගේ රුචි අරුචිකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමට අදාළ ව්‍යාපාරික ආයතනයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන ආකාරයට ය. ප්‍රායෝගික තලයේ දී තනිපුද්ගල හෝ හවුල් ව්‍යාපාරවල හිමිකරුවන් බොහෝවිට අදාළ ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයක් හෝ හැකියවක් ඇති අයවලුන් වන අතර ඔහු හෝ ඇය කෙළින් ම එම ව්‍යාපාරයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙයි. එසේ නොමැති නම්, අඩුතරමින් මූල්‍ය කටයුතු හෝ අධීක්ෂණය කරයි. ඊට අමතරව ව්‍යාපාරික තීන්දු ගැනීමේ දී මූලිකත්වය ගනියි.

සමාගම් මට්ටමේ දී මෙය මදක් වෙනස් වන අතර ප්‍රාග්ධන හිමිකරු හෝ හිමිකරුවන් එම සමාගමේ අයිතිකරුවන් ලෙසත්, ඇතැම් ක්‍රියාකාරීන් එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් වශයෙනුත් වෙන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබේ. බොහෝ විට ප්‍රාග්ධන හිමිකරුවන්, අධ්‍යක්ෂවරුන් වශයෙන් ද සේවය කරනු ලැබේ. මෙහි දී ආයතන හිමිකරුවන්ගේ සහ ප්‍රාග්ධනයේ යහ පැවැත්ම සහ දියුණුව ඇතිවන සේ ආයාතනයේ ප්‍රතිපත්ති හා දිසානතිය තීරණය කිරීම සහ අධීක්ෂණය කිරීම අධ්‍යක්ෂවරුන්ට පැවරෙන කාර්යයකි.

ජනතා පාලනයෙන් ගිලිහීම

මේ යටතේ සුදුසු පුද්ගලයින් බඳවා ගැනීම, සුදුසු ක්ෂේත්‍රයක් තෝරාගෙන ප්‍රාග්ධන ආයෝජනය සිදුකිරීම,

නියමිත නිර්නායක තුළ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සහ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ. රජයේ සමාගමක හෝ ආයතනයක ද සැකැස්ම මෙයට බොහෝදුරට සමාන වේ. සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පැවැත්ම සහ ඔවුන්ගේ කාර්යභාරය පුද්ගලික සමාගමකට බොහෝ දුරට සමාන වේ. වෙනස වශයෙන් පවතින්නේ හිමිකරුවන් කෙළින්  ම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය හා සම්බන්ධ නොවීම යි. එහි ප්‍රාග්ධන හිමිකරුවන් වන රටේ ජනතාව ඒ සඳහා කෙළින් ම සම්බන්ධ නොවීම යි. ඒ සඳහා ඔවුන් රජය කරවීම සඳහා තෝරා පත්කරගත් මහජන නියෝජිතයන් වෙත මෙම වගකීම බාර දී ඇත.

රජයේ සමාගමක හෝ ආයතනයක ද සැකැස්ම මෙයට බොහෝදුරට සමාන වේ. සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පැවැත්ම සහ ඔවුන්ගේ කාර්යභාරය පුද්ගලික සමාගමකට බොහෝ දුරට සමාන වේ. වෙනස වශයෙන් පවතින්නේ හිමිකරුවන් කෙළින්  ම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය හා සම්බන්ධ නොවීම යි. එහි ප්‍රාග්ධන හිමිකරුවන් වන රටේ ජනතාව ඒ සඳහා කෙළින් ම සම්බන්ධ නොවීම යි

සියලු ම රජයට අයත් ආයතන හෝ ව්‍යාපාරික ආයතන අමාත්‍යාංශ යටතේ පාලනය වේ. එබැවින් එහි අයිතිකරුවන් වෙනුවට එම ආයතනයේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින්නේ ඇමතිවරයායි. ප්‍රශ්නය ඇතිවන්නේ මෙතන දී ය. හිමිකරුවන් වන ජනතාවගේ අවශ්‍යතාව වන්නේ හොඳ සේවයක් හෝ හොඳ නිෂ්පාදනයක් අඩු මිලට ලබාගැනීමයි.

මහජන අභිලාශයට හරස් වන ඇමතිවරුන්ගේ අභිලාශය

නමුත් ඒ සඳහා පත්කර ඇමතිවරයාගේ අවශ්‍යතාව අයිතිකරුවන්ගේ අවශ්‍යතාවට සමඟ සමපාත නොවන බැවින් අයිතිකරුවන් වන මහජනයාගේ අවශ්‍යතාව ඒ ආකාරයෙන් ඉටු නොවේ. මහජන අවශ්‍යතාව හොඳ සේවයක් හා භාණ්ඩ හෝ සේවා සඳහා අඩු මිලක් වුවත්, ඇමතිවරයාගේ ප්‍රමුඛත්වය  වන්නේ ඔහුට ඡන්දය දුන් ඡන්දදායකයාට කෘත ගුණ සැලකීම, රැකියා උත්පාදන යන්ත්‍රයක් ලෙස ආයතනය යොදා ගැනීම, මැතිවරණ ජයග්‍රහණය සඳහා උදව් කළ අයට එම වියදම් මුදල් ප්‍රතිපාදනය කිරීම සහ ඔවුන් ඒ හරහා පුද්ගලික වශයෙන් තමාගේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීම සහ ජීවිත කාලයට අවශ්‍ය ධනය උපදවා ගැනීමආදිය යි.

දැනට පවතින ක්‍රමවේදය අනුව ඇමතිවරයාගේ අභිමතය පරිදි අදාළ ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගත හැකිය. මෙය පෙර විස්තර කළ පරිදි පුද්ගලික ප්‍රාග්ධන හිමිකරුවන් තමන්ට අවශ්‍ය අධ්‍යක්ෂවරුන් පත්කිරීමේ අවස්ථාවට සමපාත වේ. මෙහි දී ප්‍රාග්ධන හිමිකරුවන් වන මහජනතාව වෙනුවෙන් ඇමතිවරයා තමන්ට අවශ්‍ය සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම සිදු කෙරෙයි. රජයේ ආයතනවල කියාකාරිත්වය ඇගැයීම සඳහා යම් යම් පසු විපරම් ක්‍රමවේද වශයෙන් රජයේ විගණන අංශය හා කෝප් කමිටුව වැනි ආයතන තිබුණ ද, කෝප් කමිටුව වැනි වැදගත් ආයතන ද,  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙහෙයවන බැවින් පසු විපරම් ක්‍රියාවලිය නිෂ්ක්‍රීය තත්ත්වයට පත්ව ඇත. යම් යම් අවස්ථාවල මෙම ක්‍රමයෙන් පිට පැන ප්‍රශස්ථ ආකාරයට සමහර මහජන නියෝජිතයන් සහ නිලධාරීන් ක්‍රියාකරන විරල අවස්ථා පැවැතිය ද, සාමාන්‍ය තත්ත්වය වන්නේ ඉහතින් විස්තර කළ තත්ත්වය යි. මෙම තත්ත්වය අප රටට පමණක් උරුම තත්ත්වයක් නොව, ලෝකයේ බොහෝ රටවල පවතින තත්ත්වයකි. මෙය තවදුරටත් විශ්ලේෂණය කළ හොත් ලෝක ව්‍යාප්ත ලෙස රජයේ පාලනය යටතේ පවතින සියලු  ව්‍යාපාර සහ ආයතනවලට මෙම තත්ත්වය පොදු ය. එසේ වුව ද, එම තත්ත්වය ඒ ඒ  රටවල පවතින පසු විපරම් ක්‍රියාවලියේ ශක්තිය හා සිවිල් සංවිධානවල බලය අනුව අඩු වැඩි වශයෙන් වෙනස්වන බව කිව හැකිය.

තරගයට මුහුණ දෙන විට රාජ්‍ය ආයතන ද කාර්යක්ෂම වෙයි

මේ පිළිබඳව තවදුරටත් නිරීක්ෂණ කිරීමේ දී පෙනී යන්නේ, රාජ්‍ය ප්‍රාග්ධනය පවා තරඟකාරිත්වයට මුහුණ දෙන අවස්ථාවන්හීදී වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියාකරන බවයි. මේ සම්බන්ධයෙන් ලෝක තත්ත්වය විමසීමේ දී පෙනී යන්නේ, විශේෂයෙන්, ලංකාවද අතුළුව, තුන්වන ලෝකය වශයෙන් හඳුන්වන  දිළිඳු ආරථික තත්ත්වය පවතින රටවල ආර්ථිකයට යොදවා ඇති ප්‍රාග්ධනයේ හිමිකාරිත්වයේ වැඩි කොටස අයත් වන්නේ ඒ ඒ රටවල රජයන්ට ය. අප රටේ ද එම තත්ත්වය එලෙස ම දැකිය හැකි ය. ඉන්ධන, විදුලිය, ගමනාගමනය, වරාය, ගුවන්තොටුපල, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ඉඩම් සලකා බැලීමේ දී මෙහි සත්‍යතාවය අවබෝධ කරගත හැකිය.

මෙම අංශ රජය යටතේ පවතින බැවින් ආර්ථිකය හැසිරවීමේ තීරණාත්මක හැකියාව රජය සතු ය. මේ ඒකාධිකාරී බලය හා හැසිරීම නිසා නිදහස් සහ ශක්තිමත් සිවිල් සමාජයක් ඇතිවීමට ඇති හැකියාව බොහෝ සෙයින් අඩු ය. ඒ අතර ම පුද්ගලික ප්‍රාග්ධන හිමිකරුවන් ද ශක්තියෙන් අඩු අතර, ඔවුන්ට ද රජයේ  බලපෑමෙන් සහ  ග්‍රහණයෙන් මිදිය නොහැකි ය. නමුත් මෙයට පරස්පර ආකාරයට දියුණු ආර්ථික පවතින රටවල ව්‍යාපාරවල ප්‍රාග්ධන අයිතියේ වැඩි කොටස පුද්ගලික අංශය සතුව පවතී.

මෙම අංශ රජය යටතේ පවතින බැවින් ආර්ථිකය හැසිරවීමේ තීරණාත්මක හැකියාව රජය සතු ය. මේ ඒකාධිකාරී බලය හා හැසිරීම නිසා නිදහස් සහ ශක්තිමත් සිවිල් සමාජයක් ඇතිවීමට ඇති හැකියාව බොහෝ සෙයින් අඩු ය

එබැවින් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ තරඟකාරිත්වය වැඩි නිසා කාර්යක්ෂමතාවය  සාපේක්ෂ වශයෙන් ඉහළ අතර ඒ තුළින් බිහිවන ආර්ථික සමෘද්ධිය හරහා අදාළ සිවිල් සමාජයේ ශක්තිය රටේ ජනමතය ලෙස රජයට බලපෑම් කළ හැකි තත්ත්වයක පවතී. එමෙන් ම, ප්‍රාග්ධන හිමියන් ආර්ථිකයේ  තීරණාත්මක අංශ වලට සහභාගි වන බැවින් ද, ඔවුන්ට ඇති අන්තර්ජාතික සම්බන්ධතා නිසා ද, ඔවුන් කෙරෙහිද රජයට කළ හැකි බලපෑම අල්ප ය.

ක්‍රමයේ ම පවතින ආවේනික දුර්වලතාවයක්

එබැවින් දිළිඳු ආරථික තත්ත්වය පවතින රටවලට හොඳ රජයක් පත්කර ගැනීම හරහා එම තත්ත්වයෙන් ගැලවීය නොහැක්කේ එම ක්‍රමයේ ම පවතින ආවේනික දුර්වලතාවන් නිසා යි. එනම්, රාජ්‍ය ප්‍රාග්ධනය යටතේ පවතින අධිකාරීවාදී ආයතන හෝ ව්‍යාපාරවල කාර්යක්ෂමතාව තරඟකාරිත්වය තුළින් ලබාගත හැකි කාර්යක්ෂමතාව තරම් කිසිදාක ඉහළ නැංවිය නොහැකි වීම නිසා ය.

එබැවින් යෝජනා කළ හැකි හොද ම විකල්පය නම්, රාජ්‍ය ප්‍රාග්ධනය යටතේ පවතින ආර්ථිකයේ තරඟකාරී අංශ හඳුනාගෙන ඒවා තරඟකාරිත්වයට මුහුණ දීමට සැලැස්වීම යි.

දැනට පවතින දුර්වල පසු විපරම් ක්‍රමවේදය යටතේ තරඟකාරිත්වයට මුහුණ දීමට මේ රටේ රාජ්‍ය අංශය යොමු කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. එබැවින් කාර්යක්ෂම තාවය වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේ, තරඟකාරිත්වයට සහභාගි විය යුත්තේ පුද්ගලික අංශය පමණි.

එක ම විසඳුම විකිණීම යි

එබැවින් කළ යුත්තේ තරඟයට නිරාවරණය කළ හැකි අංශවල ඇති රජය යටතේ පවතින ප්‍රාග්ධනය පුද්ගලික ප්‍රාග්ධනයෙන් විස්ථාපනය කිරීමයි එනම් විකිණීමයි. එසේ නිදහස් කළ ප්‍රාග්ධනය අත්‍යාවශ්‍ය අංශ, එනම්, නීතිය, සෞඛ්‍යය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භාවිත කළ හැකි ය. තරඟයට නිරාවරණය කළ අංශ නිසැක වශයෙන්ම පැවති රාජ්‍ය අංශවලට වඩා කාර්යක්ෂම  බැවින් රටේ කාර්යක්ෂමතාව ඉහළ යෑම අනිවාර්යෙන් සිදුවේ.

එබැවින් කළ යුත්තේ තරඟයට නිරාවරණය කළ හැකි අංශවල ඇති රජය යටතේ පවතින ප්‍රාග්ධනය පුද්ගලික ප්‍රාග්ධනයෙන් විස්ථාපනය කිරීමයි එනම් විකිණීමයි. එසේ නිදහස් කළ ප්‍රාග්ධනය අත්‍යාවශ්‍ය අංශ, එනම්, නීතිය, සෞඛ්‍යය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භාවිත කළ හැකි ය. තරඟයට නිරාවරණය කළ අංශ නිසැක වශයෙන්ම පැවති රාජ්‍ය අංශවලට වඩා කාර්යක්ෂම  බැවින් රටේ කාර්යක්ෂමතාව ඉහළ යෑම අනිවාර්යෙන් සිදුවේ.

නමුත් ඉපැයීම්වලට ඔරොත්තු නොදෙන පාරිභෝගික රටාවක් උරුමකරගත්, ඒ නිසා විදේශ ණය පාරිභෝජනය සඳහා භාවිතා කරන, මේ රටේ ජනතාව මතවාදි වශයෙන් මෙවැනි වැඩකට කැමතිවන්නේ නැත. පුද්ගලික අංශය කෙරෙහි ඇති අවිශ්වාසය, පුද්ගලයන් වෙනස් කිරීම හරහා හොඳ තත්ත්වයක් ලබාගැනීමට හැකි බවට පවතින විශ්වාසය හා වෙනස්වීමට හෝ වෙනස්ව සිතීමට ඇති නොකැමැත්ත මෙයට හේතුවන බව අනුමාන කළ හැකිය.

එබැවින් ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක් තුළින් මෙම වෙනස එනම් ප්‍රාග්ධනය වඩාත් කාර්යක්ෂම එසේත් නැතිනම් පුද්ගලික අංශය වෙත මාරුවීම සිහිනයක් යයි කෙනෙකුට කිව හැකිය. ඒ වෙනුවට එම ක්‍රියාව වෙනස් ආකාරයකින් සිදුවිය හැකි ය. එනම්, දැනට පවතින රාජ්‍ය මූලික ආරථික ක්‍රමය වඩා හොඳින් කිරීම සඳහා බලය ලබාගත් ආණ්ඩුවට, නුදුරු අනාගතයේ දී මුණගැසීමට නියමිත ආර්ථික අර්බුදයේ  කටුක යථාර්ථයට මුහුණ දීම සඳහා රජයට අයත් දේපළ හා අවසානයේ ආයතන ද පුද්ගලික අංශයට බාර දීමට සිදු වීමට ඉඩ ඇත. එහෙත්, මෙවැනි වගකීම් ගැන බරපතළ  තැකීමක් නැති ආණ්ඩු මගින් මෙම පරිවර්තනය සිදුවුව හොත් එය රටට  අවාසි සහගත ලෙස හා විකෘති ස්වරූපයෙන් සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය.

නුදුරු අනාගතයේ දී මුණගැසීමට නියමිත ආර්ථික අර්බුදයේ  කටුක යථාර්ථයට මුහුණ දීම සඳහා රජයට අයත් දේපළ හා අවසානයේ ආයතන ද පුද්ගලික අංශයට බාර දීමට සිදු වීමට ඉඩ ඇත. එහෙත්, මෙවැනි වගකීම් ගැන බරපතළ  තැකීමක් නැති ආණ්ඩු මගින් මෙම පරිවර්තනය සිදුවුව හොත් එය රටට  අවාසි සහගත ලෙස හා විකෘති ස්වරූපයෙන් සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය.

 

කීර්ති ගොඩිගමුව

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *