|

තිත්ත ඇත්තට මූණදෙමු – කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය

ගෙවා ගැනීමට බැරි තරමට ඉහළ ගොස් තිබෙන දෙස් විදෙස් ණය සහ විදේශ විනිමය සංචිතය පහළ බැසීම නිසා අද රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී සිටින්නේ බරපතළ අර්බුදයකටය. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි.

මේ විමසුම කරන්නේ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාය. යුනයිටඩ් මෝටර්ස් සහ පැලවත්ත සීනි යන සමාගම්වල ද සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා, රටේ ආර්ථික ප්‍රශ්න ගැන ස්වාධීන මත දරන ආර්ථික හා මූල්‍යමය කරුණු පිළිබඳ උද් යෝගිමත් පුරවැසියෙකි. මේ, ඒ මහතාගේ හඬයි.

නිදහස ලැබූ 1948 සිට ගත වූ අවුරුදු 73 දී විවිධ දේශපාලන පක්‍ෂවලින් සමන්විත ආණ්ඩු මෙරටෙහි තිබිණි. ගත වූ ඒ අවුරුදු 73දීම පාහේ රටේ ආදායමට වඩා වියදම වැඩි විය. ආදායමට වඩා වියදම වැඩි පුද්ගලයකුටත් සිදුවන්නේ සිය පැවැත්ම සඳහා ණය ගැනීමටය. ණය ගත්තොත් ඒවා ගෙවිය යුතුය. නොගෙව්වොත් ඔහුට යළි ණය ගත නොහැකිය. රටක ආර්ථිකයත් එසේමය. විවිධ දේශපාලන පක්‍ෂවල නායකයන් රට පාලනය කළත් ඒ කිසිවෙක් රටේ ආර්ථිකය නිසි ලෙස පාලනය නොකළහ.

වසරක් පාසා අය වැය වාර්තාවක් ඉදිරිපත් කරයි. එහෙත් එහි තිබෙන දේවල් නොකරයි. අවුරුද්ද අවසානයේදී ඒ ගැන වග විභාගයක් ද නොකෙරෙයි. ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ හැටියට ද ඒ අවුරුද්දේ ආර්ථිකය පාලනය කළේ කියා අවුරුද්ද අවසානයේ කිසිවෙක් සොයා නොබලති. ඒ අවුරුද්ද අවසානයේදී ඊළඟ අවුරුද්ද සඳහා තවත් අය වැය ලේඛනයක් ඉදිරිපත් කරයි. ඒ අය වැය ගැන ද කටයුතු පෙර පරිදිම සිදු වෙයි. ඒ නිසා අය වැය පරතරය ද වාර්ෂිකව ඉහළ යයි. ඉහළ යන පරතරය පියවා ගැනීමට ණය ගනියි.

ණය රට ඇතුළෙන් ද වෙනත් රටවලින් ද ගනියි. 2021 සිට 2026 දක්වා ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය පමණක් ඇමෙරිකන් ඩොලර් බිලියන 35 කි. වර්තමාන ජනාධිපතිවරයා 2019 දී බලයට පත් වූ වහාම ජනතාවට සහන දෙන්නය කියමින් එතෙක් අය කළ බදු මහා පරිමාණයෙන් අඩු කළේය. ඒ බදු අඩු කිරීම නිසා රජයේ බදු ආදායම රුපියල් බිලියන 500කින් පමණ අඩු විය.

2020 මාර්තු මාසයේදී කොරෝනා වසංගතය පැමිණියේ ආර්ථිකය එවැනි තත්ත්වයකට ඇදවැටෙද්දීය. 2020 පළමු වැනි කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය 1.8කි. ඒ කොරෝනා පැමිණීමට පෙර තත්ත්වයයි. යහපාලන ආණ්ඩුවේ අවසාන අවුරුද්ද වන 2019 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය සියයට 2.1කි. දැන් තියෙන ආර්ථික ප්‍රශ්න සියල්ල කොරෝනා ගිණුමට බැර කර තිබේ. කොරෝනා වසංගතයෙන් ජනතාව රැක ගැනීමට රුපියල් බිලියන 262ක් වැය කර තිබෙන බව අගමැතිතුමා කියයි. 2020 වසරේදී අපේ ආර්ථිකයේ තිබුණේ වර්ධනයක් නොවේ. එය ඍණ 3.6ක් බව කියැවෙයි. 2020 දී ලොව බොහෝ රටවල පැවැතුණේ එවැනි තත්ත්වයකි. ඒ, කොරෝනා නිසාය.

ලංකාවේ අපේ ආර්ථිකයේ දැන් පවතින ප්‍රශ්නවලට ද ප්‍රබලව බලපා තිබෙන්නේ කොරෝනාය. රටට විදේශ විනිමය එවූ විදෙස් රටවල රැකියා කළ සෑහෙන පිරිසක් ඒ රැකියා හැර දමා ලංකාවට පැමිණියේ කොරෝනා නිසාය. ඇඟලුම් කර්මාන්තයේ හා සංචාරක කර්මාන්තයේ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ද කොරෝනා නිසාමය. වැටුණු සංචාරක කර්මාන්තය නංවන්න උදයංග වීරතුංග මහතා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වූවත් එමගින් සංචාරක කර්මාන්තයට වූයේ හානියකි.

සංචාරක කර්මාන්තයෙන් දැන් අපට විදේශ විනිමය ලැබෙන්නේම නැත. එහෙත් විදේශ රැකියා කරන ලාංකිකයන් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. එය වාසනාවකි. එහෙත් මේ තත්ත්වය දිගු කාලීනව පවතින්නේ නැත. හේතුව මැද පෙරදිග රැකියා කළ ලාංකිකයන් විශාල පිරිසක් රැකියා අතහැර දමා ලංකාවට පැමිණීමය. ඒ අයට යළි ඒ රටවලට යා නොහැකිය. මැද පෙරදිග තිබූ රැකියා ද අඩු වී තිබේ. ඒ අනුව විදේශ රැකියා කරන අයගෙන් විදේශ විනිමය වැඩි වැඩියෙන් ලැබෙතැයි දිගු කාලීනව අපේක්‍ෂා කළ නොහැකිය.

ආර්ථිකයේ පවතින ඒ තත්ත්වය නිසා රට වසාගෙන සිටිය නොහැකිය. වසාගෙන සිටියොත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් විය හැකිය. විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීමට යම් යම් පියවර ගනිමින් සිටින බව ද ජනමාධ්‍යවලින් අනාවරණය වෙයි. දැනට අවුරුද්දෙන් භාගයක්ම ගෙවී තිබේ. ලංකාවට සංචාරකයන් වැඩියෙන්ම එන්නේ දෙසැම්බර් මාසයේදීය. දෙසැම්බර් වෙද්දී කොරෝනා පාලනය කරගත හැකි වුවහොත් සංචාරක කර්මාන්තයෙන් විදේශ විනිමය උපයා ගැනීමට අපට හැකි වෙයි. රට සතු විදෙස් ණය ගෙවීමට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණවත් නැත. ඒ නිසා ණය ගෙවීමට තවත් ණය ගැනීමට සිදු වී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂ්මන් යන මහත්වරුන් කියන්නේ ඔවුන් නව ආර්ථික ක්‍රමයක් යටතේ ක්‍රියා කරන බවය. ඔවුන් කියන හැටියට යම් මාසයක ගෙවීමට තිබෙන ණය ගෙවීමට සූදානම් වන්නේ ඊට මාස තුනකට පෙරදීය.

ඒ ක්‍රමය යටතේ විදෙස් රටවලින් ණය ගැනීම සඳහා යවන්නේ ලංකාවේ රුපියල්ය. ඒ වෙනුවට විදෙස් රටවල් අපට ඩොලර් දෙයි. ඒ ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ඩොලර් ලබාගෙන තිබෙන අතර චීනයෙන් යුවාන් ද ලබාගෙන තිබේ. ඒ ක්‍රමයට බංග්ලාදේශයෙන් ද ඩොලර් මිලියන 200ක් ලබාගැනීමට බලාපොරොත්තු වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා කියන නව ආර්ථික ක්‍රමය එසේ “තාවකාලික ණය” ගැනීමයි. ඒ ණයට ද පොලියක් ගෙවිය යුතුය. එහෙත් ඒ කීයක් දැයි නොකියති. මේ තාවකාලික ණය සඳහා ගෙවන පොලිය ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ පවතින පොලියට වඩා වැඩි විය හැකි බව මගේ වැටහීමයි. මේ ක්‍රමය යටතේ වන්නේ අප ඔවුනට රුපියල් දී ඩොලර් ගැනීමය. එය පැහැදිලිවම මුදල් හුවමාරු (Swap) කරගැනීමකි. මාස තුනකින් අප ඔවුනට ගෙවිය යුත්තේ ඩොලර්ය. මාස තුනකදී ඩොලරය කොතරම් ඉහළ යාවි දැයි අපට කිව නොහැකිය. ඒ නිසාත් අපට වැඩියෙන් ගෙවීමට සිදුවෙයි.

මේ ක්‍රමය දිගු කාලීනව පවත්වාගෙන යා නොහැකිය. එහෙයින් කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමය. ඒ ආයතනයෙන් ණයක් ගත්තොත් ජාත්‍යන්තරයේ අපේ තත්ත්වය දැනට වඩා ඉහළ යයි. ණය වර්ගීකරණය කරන ජාත්‍යන්තර ආයතන කියන්නේ ලංකාව ණය ගෙවාගත නොහැකි රටක් බවට පත්වන බවය. ඒ නිසා ඒ ආයතන දැන් ලංකාවේ තත්ත්වය පහළ දමා තිබේ. එහෙත් මූලය අරමුදලෙන් ණයක් ලබාගැනීමට හැකි වුවහොත් එය ලංකාවේ ආර්ථිකය ගැන ජාත්‍යන්තරයට ද හොඳ සහතිකයකි. ඒ නිසා මූල්‍ය අරමුදලෙන් ණයක් ගතහොත් අප දැනට වැටී සිටින තත්ත්වයෙන් ටිකක් හෝ ඉහළට එනු ඇතැයි ද නිශ්චිතය.

විදේශ විනිමය අතින් දැන් රට සිටින්නේ බරපතළ තත්ත්වයකය. ඇමෙරිකන් ඩොලර් සොයා ගැනීම දැන් අපහසුය. හොර පොළවල්වල ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 225ක් තරම් ඉහළ මිලකටය. මේ තත්ත්වය ඇතැම් ආනයනකරුවන්ට බරපතළ ලෙස බලපායි. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය පවතින්නේ ආනයන මතය. ඒ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපාංගවලින් සියයට 60ක් පමණ ආනයනය කරයි. ඒ අනුව ඇඟලුම් කර්මාන්තය පවතින්නේම ආනයන මතය. රටේ පවතින විදේශ විනිමය හිඟය නිසා ඇතැම් ආනයනකරුවන්ට ණයවර ලිපි (Letter of Credit) නිකුත් කරගැනීමට ද නොහැකිව තිබේ.

ණයවර ලිපි ලබාගැනීමටත් ඩොලර් තිබිය යුතුය. එහෙත් ඩොලර් හිඟය නිසා ඇතැම් බැංකුවලට ණයවර ලිපි නිකුත් කළ නොහැකිව තිබේ. ඉන් අනාවරණය වන්නේ අපනයන නිෂ්පාදනවලට අත්‍යවශ්‍ය භාණ්ඩ ද ආනයනය කළ නොහැකි මට්ටමකට රට පත්ව තිබෙන බවය. ඩොලර් නැතිව එල්.සී. විවෘත කළ නොහැකිය. අද බොහෝ වාණිජ බැංකු ඒ තත්ත්වයට මුහුණ දී සිටියි.

රටේ දැනට තිබෙන අනෙක් බරපතළ ප්‍රශ්නය වී, එළවළු හා තේ වගාවලට අත්‍යවශ්‍ය රසායනික පොහොර ආනයනය නොකිරීමය. අපේ ජනාධිපතිතුමාගේ මතය අනුව එක රැයකින් නැතහොත් එක කන්නයකින් සියල්ල වෙනස් කිරීමට එතුමා බලාපොරොත්තු වෙයි. එතුමා කියන්නේ කාබනික පොහොරවලින් සියලු වගා කළ යුතු බවය. එක රැයකින් එය කළ නොහැකි බව කෘෂිකර්ම විශේෂඥයන් පිරිසක් ජනාධිපතිතුමාට ලිඛිතව දන්වා තිබෙන බව ජනමාධ්‍යවලින් අනාවරණය වෙයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන්නේ කාබනික පොහොර වෙත යන ගමන අවුරුදු දහයකින් යාමටය. එහෙත් දැන් එතුමා සැරැසෙන්නේ එය එක කන්නයකින් කිරීමටය. දැනට නිම වී තිබෙන යල් කන්නයේත් බොහෝ ගොවීන්ට පොහොර ලැබී නැත. පොහොර නොලැබුණු ගොවීන් සංඛ්‍යාව සියයට 20ක් තරම් විශාල බව වාර්තා වෙයි. ආණ්ඩුව කියන්නේ වෙළෙන්දන් පොහොර සඟවාගෙන සිටින බවය. එය ඇත්ත ද නැත්තදැයි අපි නොදනිමු.

පොහොර පමණක් නොව රසායනික කෘමි නාශක ද රටින් ගෙන්වීම නවතා තිබේ. කෘෂි විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තු අනුව කාබනික පොහොර පමණක් භාවිත කළොත් වී වගාවේ අස්වැන්න සියයට 20කින් පමණ අඩුවීමට නියමිතය.

වගාවට කෘමීන්ගෙන් හා දිලීරවලින් වන හානි වැළැක්වීමට භාවිත කරන්නේ කෘමි නාශකය. සාර්ථක වගාවකට නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම්ද ලැබිය යුතුමය. ශාක වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යය. ශාකයේ ශක්තිමත්භාවය සඳහා පොස්පරස් හා පොටෑසියම් අත්‍යවශ්‍යය.

දැනට පාවිච්චි කරන යූරියාවල නයිට්‍රජන් සියයට 40ක් පමණ තිබේ. එහෙත් ගුණාත්මකභාවයෙන් ඉහළම කාබනික පොහොරවලත් නයිට්‍රජන් සියයට අටකට වඩා නැත.

ඒ නිසා යූරියා කිලෝ 100ක් දාන වගාවකට කාබනික පොහොර කිලෝ 400 සිට 500 අතර ප්‍රමාණයක් දැමීමට සිදුවන බව කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඒ කෘෂි විද්‍යාඥයන්ගේ හඬට සවන් නොදීමෙන් ඛේදවාචකයක් විය හැකි බව මගේ තක්සේරුවයි. ඒ විද්‍යාඥයන් කියන්නේ සියයට 100ක් කාබනික පොහොරවලින්ම වගා කරන රටවල් ලෝකයේ නොමැති බවය. ලෝකයේ බොහෝ රටවල කාබනික වගාව සියයට 20 ඉක්මවා නොමැති බවය. ඉතින් යල් කන්නයේ වගාව සියයට 20කින් අඩු වී මහ කන්නයට රසායනික පොහොර නොලැබුණොත් මොනවා වේදැයි සිතා ගැනීම පවා අපහසුය. ජනාධිපති හා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ ප්‍රශ්නයක් නොවන බවය. එහෙත් කෘෂිකර්ම විද්‍යාඥයන් කියන්නේ රට බරපතළ ආහාර අර්බුදයකට යන බවය.

දැනටත් හාල් මෙට්‍රික් ටොන් 1,50,000ක් ආනයනය කිරීමට සැරැසෙයි. එසේ නම් 2022 ජනවාරි, පෙබරවාරි මාස වෙද්දී ටොන් දස ලක්‍ෂ ගණනින් හාල් ආනයනය කිරීමට සිදුවෙයි. ඒ සඳහා අවශ්‍ය ඩොලර් උපයා ගන්නේ කෙසේ ද? කොහෙන් ද? මගේ උපකල්පනය සාගතයක් ඇතිවිය හැකි බවය.

රසායනික පොහොර නැතිකම වී වගාවට පමණක් නොව එළවළු හා තේ වගාවට ද ප්‍රබලව බලපායි. ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයේම සියයට 70ක් නිපදවන්නේ පහතරට කුඩා තේ වතු හිමියන්ය. රසායනික පොහොර නැති නිසා දලු කහ පාට වී ඇතැයි දැනටත් තේ වගාකරුවෝ කෑ ගසති. තේවලට මාස තුනෙන් තුනට පොහොර දැමිය යුතුය. රසායනික පොහොර හුරු වූ තේ වගා ක්‍ෂණිකව හෝ හදිසියේ කාබනික පොහොරවලට හුරු කරවිය නොහැකිය.

දැනට තිබෙන තත්ත්වය අනුව ලංකාවේ තේ ඵලදාව සියයට හතළිහකින් පනහකින් පමණ අඩු විය හැකි බවට වගාකරුවෝ අනතුරු අඟවති. එය එසේ වුවහොත් දැනට අප සතුව තිබෙන ජාත්‍යන්තර තේ වෙළෙඳපොළ අපට අහිමි වෙයි. තේ අපනයනයෙන් ලැබෙන විදේශ විනිමය ද අහිමි වෙයි. එදාට දැනට තිබෙන ආර්ථික අර්බුදය තවත් උග්‍රවනු නිසැකය.

දැනට පවතින මේ අර්බුදවලට යම් සහනයක් ලබාගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීමෙනි. මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබීමෙන් රටේ ආර්ථිකය ගැන ජාත්‍යන්තරයේ තිබෙන ප්‍රතිරූපය ද වෙනස් වෙයි.

චීනයෙන් ණය ගත්තාට ජාත්‍යන්තර ප්‍රතිරූපය වෙනස් නොවෙයි. අනෙක චීනයෙන් දෙන්නේ දේශපාලන ණයය. ව්‍යාපෘති සඳහා චීන ණය ගත්තහම අවසානයේදී ඒ ව්‍යාපෘතිය චීනයට අයිති වෙයි. හම්බන්තොට වරායට වූයේ එයයි. විවිධ රටවලින් ඍජුව ගන්නා තාවකාලික ණයවලින් දිගු කලක් පැවැතිය නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගත යුත්තේ එබැවිනි. ඒ අරමුදලෙන් දෙන්නේ දිගු කාලීන අඩු පොලී ණයය.

මූල්‍ය අරමුදලෙන් ණයක් ගතහොත් ජාත්‍යන්තරයේ තිබෙන අනෙක් මූල්‍ය ආයතනවලින් ද ණය ගැනීම පහසු වෙයි. ණය ගත යුත්තේ කරුණු තුලනාත්මකව විග්‍රහ කිරීමෙන් පසුවය.

ආර්ථිකමය වශයෙන් අද රට තිබෙන්නේ ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ අර්බුදයකය. තිබෙන ලොකුම ආර්ථික ප්‍රශ්නය මහා පරිමාණ ණය කන්දරාවය.

අලුත් ආර්ථික න්‍යාය කියමින් ආණ්ඩුව දැන් දිගට හරහට සල්ලි අච්චු ගසයි. නිෂ්පාදනයක් නැති මෙවැනි අවස්ථාවක මෙසේ සල්ලි අච්චු ගැසීමෙන් උද්ධමනය ද අනිවාර්යයෙන්ම වැඩි වෙයි. මෙසේ මුදල් අච්චු ගැසීමේ ලාබය හා වාසිය ලැබෙන්නේ ලොකු ව්‍යාපාරිකයන්ටය.

බැංකුවල සල්ලි වැඩි වුණාම මහා ව්‍යාපාරිකයන්ට අඩු පොලියට ණය ගත හැකිය. පුංචි මිනිසුන්ට දෙන ණය අය කරගැනීමේ අවදානමක් පවතින නිසා බැංකු වැඩි වැඩියෙන් ණය දෙන්නේ මහා ව්‍යාපාරිකයන්ටය. වැඩියෙන් සල්ලි අච්චු ගැසීමේ වාසිය ද මහා ව්‍යාපාරිකයන්ටම හිමිවන බව මා කියන්නේ ඒ නිසාය. සල්ලි වැඩි වුණාම මිලදී ගැනීම් වැඩි වෙයි.

එහෙත් නිෂ්පාදන කඩා වැටී තිබෙන අවස්ථාවක එසේ වීමෙන් භාණ්ඩ මිල ඉහළ යයි. උද්ධමනය ඉහළ යන්නේ එමගිනි. දැනටත් උද්ධමනය සියයට හයට වැඩිය. නිල වශයෙන් කියෙන්නේ සියයට 6.1ක් බවය. එහෙත් සැබෑ ගණන ඊට වැඩි විය යුතු බව මගේ තක්සේරුවයි. පවතින මේ ප්‍රශ්න හමුවේ රටේ ආර්ථික අර්බුදයක් තිබෙන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පිළිගනියි. එහෙත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සල්ලි ඕනෑ තරම් තිබෙන බව කියමින් කෑගසයි.

ඇමැතිවරුන්ගේ මේ කතාවලින් හෙළිවන්නේ ආණ්ඩුවේ එක අතක් කරන දෙය අනෙක් අත නොදන්නා බවය. හෙමින් හෙමින් රට ඉතාමත් නරක තත්ත්වයකට යන බව මගේ වැටහීමයි.

කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය

(*** සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්)

ලංකාදීප

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *