බැසිල් පාර්ලිමේන්තු පැමිණීම දින නියමයක් නැතිව කල් යයි ! හානිය මකන්න මාධ්‍ය මෙහෙයුම් !!

කලින් වාර්තා වූ පරිදි, බැසිල් රාජපක්ෂ මහතා මෙම මස 8 දා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමක් සිදු නොවන බව අලුත් ආරංචි මාර්ග මගින් තව දුරටත් තහවුරු කරයි. එම වාර්තා කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන දිනයක් තවමත් තීරණය කොට නැති බවයි.  කෙසේ වෙතත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ නිවසේ දී පසුගියදා පැවතී, රාජපක්ෂ පවුලේ සකච්චඡාවේ දී බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීම ගැන තීරණයක් නොගත් බවට පල වූ වාර්තාවලට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් බැසිල් පාර්ශවයෙන් ආරම්භ කොට ඇති බව අපගේ නිරීක්ෂකයෝ කියති.

බැසිල් පාර්ශවයෙන් මාධ්‍ය වෙත නිකුත් කොට ඇතැයි  සැලකෙන එම වාර්තා අනුව , මිරිහානේ සාකච්ඡාවේ දී බැසිල්ගේ පාර්ලිමේන්තු පැමිණීමට එකඟත්වය ප්‍රකාශ වී ඇති අතර ඔහුට මුදල් ඇමතිකම ලබා දීමට මුදල් ඇමති ධුරය දරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත ප්‍රකාශ කොට ඇත. බැසිල්ගේ පැමිණීම සඳහා ඉවත්වීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු කැමති කරවා ගැනීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතා වෙත පවරා ඇති බව ද එම වාර්තා වල සඳහන් ය.

බැසිල් වෙනුවෙන් ඉවත්වීමට ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරුන් ගණනාවක් කැමැත්තෙන් සිටින බව කලින් වාර්තාවල සඳහන් වුව ද අලුත් වාර්තා මගින් කියන්නේ ඉවත්වීමට කැමති වන මන්ත්‍රීවරයාට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ධුරය වැනි උසස් තනතුරක් ලබාදෙන බව යි.

නිරනමිකව හෝ ‘විශේෂ වාර්තාකරුවකු විසින් ‘ ලෙස හෝ පල වී තිබු මෙම ඇතැම් වාර්තා ගැන සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ ඒවා බැසිල් පාර්ශවයේ මාධ්‍ය මෙහෙයුමට සම්බන්ධ පිරිස් විසින් ලබා දුන් ප්‍රවෘත්ති බවයි.

ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් හෝ බැසිල් රාජපක්ෂ මහතාගෙන් හෝ මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් තවමත් සිදු වී නැත. ඔවුන් කළ කී දෑ ලෙස පලවන වාර්තා එකිනෙකට පරස්පර අතර ඇතැම් වාර්තා එක් එක් පාර්ශවයේ මාධ්‍ය මෙහෙයුම් ලෙස පලවන බව පැහැදිලි වී තිබේ.

කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව අවුලක් පවතින බවත්, එය මෙතෙක් විසඳි නැති බවත් , පැහදිලිව පෙනෙන්නට තිබේ. ඉදිරි දින කිහිපයේ දී එය විසඳෙන බවක් ද පෙනෙන්නට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *