නව ව්‍යවස්ථාවට අපි විරුද්ධ නෑ. වාසුදේව නානායක්කාර (2වැනි කොටස)

මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පොදු සම්මුතිය වෙන්නේ ඒකීය රාජ්‍යය රකිමින් නව ව්‍යවස්ථාවට එකඟත්වයක් දෙන්න. ඒකීය රාජ්‍ය කියන එක ලංකාවේ එක්සත්කම පිළිබඳ ප්‍රශ්නයකි. එක්සත්කමට රාමුවක් තියෙන්නේ ඒකීය රාජ්‍ය තුළයි. ඒ නිසා එක්සත්කම ආරක්ෂා කරගන්නට කියන්නේ මේ රට දෙකඩවීමට, නැත්නම් මේ රට බෙදීමකින් තොරව පවත්වාගැනීම ය. මධ්‍ය කේන්ද්‍රීය වු බලයක් තුළින් විතරයි ඒක කරන්නට පුළුවන් වෙන්නේ. හැබැයි හැකිතාක් දුරට පලාත් බලයක් බෙදලා දෙමිනුයි එසේ කළයුතු වන්නේ. ඒ මගින් දෙමළ ජනතාවගේ තිබෙන්නා වූ දුක්ගැනවිලි විසඳිමයි බලාපෙරොත්තු වෙන්නේ. ඒකට මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂය තුළ පොදු සම්මුතියක් තියෙනවා. මෙහි දි 13වෙනි සංශෝධනයෙන් එහාට යන බලය බෙදීමටකට ඒකාබද්ධ විපක්ෂය එකඟ ද යන්න යමෙකුට ප්‍රශ්න කළහැකි අතර දැනට ප්‍රකාශවන මත අනුව ඒකට එකඟතාවයක් ඒ සම්මුතිය තුළ තිබෙනවා යැයි කිව හැක.
ඔබ ඇසූ ප්‍රශ්නයේ වැදගත්කම වන්නේ, න්‍යායිකව කුමක් කීවත් සංයුක්තව, නැතිනම් ප්‍රායෝගික තලයේ දෙමළ ජනයාගේ අයිතීන් පිළිබඳ ප්‍රශ්නය දිගහැරෙන විට සිංහළ ජාතික බලවේගය ඒකට එරෙහිව නැගී සිටිම ය. ඒ විරුද්ධ වෙන්නේ සිංහළ ආධිපත්‍ය නැතිවෙනවා කියන බියට ය. දැන් අපි සිංහළ ආධිපත්‍යකුත් නැති දෙමළ ජනයාගේ ජාතික බලවේග වලට වෙනම ප්‍රදේශත් නැති එකඟත්වයකට එන්නට පුළුවන් කියලා පෙනෙන ප්‍රායෝගික ව්‍යවස්ථාවක් හදනනවා නම් අපිට පුළුවන් මේ දෙකම ඉටුකර ගැනීමට. නමුත් එවැනි ව්‍යවස්ථාවකින් සහතික කරන බලය මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන. නමුත් එම පලාත්වල සාමය හා නීතිය බිඳවැටී තිබෙන අවස්ථාවක එසේ පවරා ගැණිමේ වරදක් නැති බවයි මට පෙනෙන්නේ. ඒක තමයි අවසාන වශයෙන් තිබෙන්නට අවශ්‍ය වන්නේ. ඉන්දියාවෙත් තිබෙන්නේ ඒ ආකාරයට ය.
මධ්‍යම ආණ්ඩුවට තම දේශපාලන උවමනාවන්ට අනුව බලය පවරා ගැණිමට හැකියාව ඇතිබව යමෙකුට කිවහැකි නමුත් මා කියන්නේ දේශපාලන උවමනාවන් අනුව පවරා ගැණිමට නොහැකිවන විධි විධාන සැළසිය යුතු ය. නඩු තීන්දුවලින් හෝ එහෙමත් නැතිනම් ව්‍යවස්ථවටම එය ඇතුළත්කළ යුතුව තිබේ. දැන් උතුරු පලාත් සභාව මධ්‍යම රජයට විරුද්ධයි කියලා ඒක මත ඒ පලාත් සභාවේ බලය මධ්‍යම ආණ්ඩුව උදුරාගන්නා ආකාරයේ පියවරකට යන්නට ඉඩක් නොතැබිය යුතු ය. මේක ඇත්තටම දේශපාලන යථාර්තය පිළිබඳ ප්‍රශ්නයකි. බලය කියන ප්‍රශ්නය කවුරුන් හෝ අභියෝග කළොත්, ඒ බලය ආපසු හැරි පහර දෙනු ඇත. ඒකයි මෙතන තිබෙන ඇත්ත කථාව. ඒ නිසා අපි බල තුලනයක් තබාගැණිමට උත්සාහ ගතයුතුව තිබේ. අර දෙමළ ජනතාවගේ ජාතික අපේක්ෂාවනුත් ඉටුවන, සිංහළ ජනතාවගේ ජාතික අභිලාෂයත් රැකෙන තැනකට මේක අපි ගෙන ආ යුතු ය. ඒක තමයි මම හිතන්නේ මේ ව්‍යවස්ථා සම්පාදනයේ තිබෙන ඉතාමත්ම ප්‍රවීන හා නිර්මාණාත්මක කර්තව්‍ය ය. ඒක මේ ව්‍යවස්ථාව සම්පාදනය කරන ජනයා අතර කථාවක් පමණක් නොවේ. ඊට වඩා පළල්ව විහිදුණු කථාවකට මේක ගෙනියන්නට අවශ්‍ය ය.
අනික් එක මේ ව්‍යවස්ථා සංශෝධනයේ දී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම ඉවත් කළයුතු ය. නාමික ජනාධිපති ක්‍රමයකට යායුතු අතර ම මුළු බලය පාර්ලිමේන්තුව සතු කළයුතු ය. විධායක අගමැතිවරයෙක් ද නොසිටිය යුතු ය. නමුත් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ සිටිමින් බලතල තමන්ට නතුකර ගනිමින් තිබෙන තත්ත්වයක් තුළ මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලය අවසන් වෙනතුරු මේ බලය බෙදී තිබෙන්නට අවශ්‍ය ය. මධ්‍යම ආණ්ඩු බලයට සම්බන්ධවීමට මහ ඇමති වරුන්ට අවස්ථාව සැළසීමට එකගවිය හැකි අතර නව ආණ්ඩු ක්‍රමයේ ව්‍යුහය කෙසේ සකස් කරන්නෙක් ද යන ප්‍රශ්නය සමග එය බැඳි පවති.
කෙසේ නමුත් පලාත් සභා යටතේ හොඳින් පාලනය වූ රෝහල් සහ පාසැල් මධ්‍යම ආණුඩව යටතට පවරාගත් නරක අත්දැකීම් රාශියක් ඇත. එය කිසිසේත් අනුමත කළ නොහැක. එය එසේම සිදුවන්නේ මේ බොරු කථා අවශ්‍ය නෑ. සියල්ලම මධ්‍යම ආණ්ඩුව යටතේ තබාගත්තාම ඉවරයි. මේ පලාත් සභා අපි හැදුවේ මිනිසුන්ට සමිපව, සෘජුව ආසන්නයේ සිට තමන්ගේ ප්‍රශ්න තේරුම්ගෙන විසඳාගැනිමට ය. තවමත් ඒක හැදිලා නැත. පලාත් සභා පිහිටුවුයේ පලාත තුළ මිනිසුන්ගේ සියලු ප්‍රශ්න ඉවරකර ගැනීමට ය. ඒක තමයි පාලනයේ දි ජනයාට ලැබෙන පහසුව.
ඔබ අසන සමාජ ආර්ථික ප්‍රශ්නය සම්බන්ධයෙන් මගේ අදහස මෙසේ ය. බලයට පත්වන්නට ප්‍රථම නව ලිබරල්වාදයට එරෙහිව ජාතිකවාදීන් කථා කරන නමුත් බලයට පත් වූ පසු එය සතුව විකල්ප සමාජ ආර්ථික වැඩ පිළිවෙලක් නැතිකම සහ දේශිය ජීවන විලාසිතාවක් ජාතිකවාදීන්ට නැති බවට ඔබ කරන චෝදනාව සාධාරණ ය. මේ තුළ ඇත්තේ භෞතික කාරණයකි. ඒ කියන්නේ කලාපීයවාදය පසුබැස තිබීම මෙයට හේතුව ය. කලාපිය බලයක් ගොඩනැගීමේ දර්ශණයක් ඇතිව වැඩකරන්නේ නම් අපිට මේ ගෝලීයකරණයේ තිබෙන ආධිපත්‍යට එරෙහිව නැගී සිටිය හැක. ඒ කලාපීය සංකල්පය තුළ අපිට පුළුවන් අපේම සංස්කෘතික දැක්මක් ගොඩනගා ගන්නට. දැන් අපිට ඉන්දියාව, බංගලි දේශය, පාකිස්ථානය කියන කලාපය තුළ අල්පේච්චතාවය කියන මහා සංස්තෘතික ලක්ෂණයක් තිබෙනවා. ඒක ගොඩනැගෙන්නේ නැත්තේ මේ බහුවිධ පරිභෝජනවාදයට අපි යටවී තිබෙන නිසා ය. මම මෙයින් කියන්නේ පාරිභෝජනය ක්‍රමයෙන් වැඩිවෙන එක හෝ ක්‍රමයෙන් ප්‍රසාරණය වෙන එක නවත්වන්නට නොවේ. මේ අනවශ්‍ය තරම් සීමාන්තික පරිභෝජනයකට යන්නට අපේ තිබෙන්නා වූ ඉල්ලුම නිසා තමයි මේක වෙන්නේ. ඉතින් අපි එයින් ගැලවෙන සංස්කෘතික ආකල්පයකට එන්නට කලාපිය වශයෙන් මහන්සි ගතයුතු ය. දැන් ලතින් ඇමෙරිකානු කලාපීය එකතුවක් ඇත. ඒක බැංකුවක් ලෙසත් වෙළඳ හුවමාරුව අතිනුත් ඒ අය ලතින් ඇමෙරිකානු කලාපීය සංස්කෘතියක් ගොඩනගනවා අධිරාජ්‍යවාදීන්ගේ සංස්කෘතියට යට නොවී. අන්න එවැනි කලාපීය දැක්මක් ඇති ක්‍රියාදාමයක් අපි ගොඩනගාගත යුතු ය. අපිට තියෙන විශාලම ප්‍රශ්නය වන්නේ ඉන්දියාව විශාල රටක් වීම ය. ඒ රටත් එක්ක ගණුදෙනු කරන ඕනෑම රටක් ඒ රටට කිසියම් ප්‍රමාණයකට යටත්විමට සිදුවේ. ඒ නිසා තමයි අපේ සාක් එක අපි හරියට නැවත සකස්කරගත යුතු වන්නේ. අපි ඔක්කොම එකතු වුවහොත් ඉන්දියාවේ අර මහ බලය තුලනය කරන්නට පුළුවන. අපි ඔක්කොම ඉන්දියාව සමග වෙන වෙනම ගණුදෙනු කරන්නට ගියහොත්, අපව සම්පූර්ණයෙන්ම යට වී යාවි. ඒක භෞතික තත්ත්වයක් හෙයින් වැළැක්විය නොහැකි වේ. ඒ නිසා මේ කලාපීය ආර්ථික මෙන්ම සංස්කෘතික බලයක් කියන එක තුළ තමයි දේශීය ආර්ථිකයයි කලාපීය ආර්ථිකයයි අතර ඇත්ත සම්බන්ධයක් අපි හොයාගන්නට ඕනේ. එතකොට අපි ප්‍රථයෙන් හදන්නට ඕනේ ආර්ථික සැළසුමක් පමණක් නොව කලාපීය ආර්ථික සැළසුමක් ඇතුව ඕනේ ලංකාවේ ආර්ථික සැලසුම හදන්නට. ඒක තමයි අපි අර ගෝලීය ආර්ථික බලයට, එහෙම නැත්නම් නව ලිබරල්වාදයට යටවී යෑමට බේරෙන්නට තිබෙන විධිය.
නමුත් වසර 2500කට වඩා ඉතිහාසයක් ඇති සිංහළ ජාතියට එරෙහිව මුලු ලෝකයම සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ඇතැමුන් ගෙනයන ප්‍රචාරය සමග මගේ මතය පරස්පර නොවන්නේ දැයි ඔබ මගෙන් ඇසිය හැක. මම හිතන්නේ විමල් සහ ගම්මන්පිල තුළ ඇති ඒ අදහස වෙනස් වෙමින් පවතින බවයි පෙනෙන්නේ. ඉන්දියානු විරෝධයේ ඇති වැරැද්ද ගැන විමල් වීරවංශට මම නොයෙක්වර පෙන්නා දී ඇත්තෙමි. ඉන්දියාව කියන රටේ අපි වැනි අය කොපමණ සිටින්නේ ද? කලාපීය එකතුවක් ඇතිකරලා, අධිරාජ්‍යවාදයට මුහුණ දෙන්න අවශ්‍ය බව මා ඔවුන්ට පෙන්නා දී තිබේ. “විමල් ඔයා අධිරාජ්‍යවාදයට මුහුණ දෙන්නට අවශ්‍ය බව කියනවා ජාතික එක්සත්කමක් මෙන්ම කලාපීය එක්සත්කමකුත් නැතිව යනුවෙන් මම ඔහුට කීප වතාවක්ම කියා ඇත. . මට පෙනෙන්නේ එය ඔවුන්ගේ අවධානයට ලක්වී ඇති බවයි. අර පංගුවක් වෙලාවට ජනයාගෙන් එන්නා වූ ඔල්වරසන් හඬට යම් ආකාරයකට ප්‍රතිචාර දක්වමින් එවැනි වාග් මාලාවකට මිනිහා හුරුවී තිබීමෙන් තමයි මිනිහට ගැලවෙන්නට බැරි. දැණුම හා තේරුම අතින් වෙනස් වෙමින් යනවා. මම කථා කරන්නේ ඒ අයගේම ස්ථාවරයේ සිටයි. අධිරාජ්‍යවාදයට අපේ සුළුජන කණ්ඩායම් ගොදුරුවීම වලක්වා ගන්නේ කෙසේ ද? අධිරාජ්‍යවාදීන් මේ රටට ඇතුල්වෙන්න බලන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන. ඒ තමයි සුළුජන කණ්ඩායම්වල අයිතිය. ඒක උන්ට අත්කරගන්නට බැරිවෙන්නට අපි ක්‍රියා කරන්නේ කොහොම ද? මම මේවා ඒ අයගෙන් ප්‍රශ්න කරනවා. මට පෙනෙනවා යම් ප්‍රමාණයකට ඒවාට යම් ප්‍රතිචාරයක් තියෙනවා කියලා.
දේශිය ආර්ථික වැඩපිළිවෙලකින් මේවගේ රටක් සංවර්ධනය කරා ගෙනියන්නට පුළුවන්ද යනුවෙන් ඔබ අසන ප්‍රශ්නය ගැන මීළග කොටසින් කථා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *