පාටලීට සජිත්ගෙන් දරුණු කැපිල්ලක් – සජබයේ තීරණ ගැනීමෙන් ඉවතට !

සමගි ජන බලවේගය තුළ පාටලී චම්පික රණවක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ගැටුම දරුණු අතට හැරී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් රණවක මහතා සම්පුර්ණයෙන් ම පාහේ ඉවත් කොට ඇති බවත්, එම පක්ෂයේ තතු දත් ආරංචිමාර්ග කියයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට තමන්ගේ පක්ෂයේ වැඩ කටයුතු පිලිබඳ තීරණ ගැනීමට උපදේශක මණ්ඩලයක් පත් කරගෙන ඇති බවත්, පක්ෂයේ නායකයින් ලෙස තවත් කණ්ඩායමක් වරින් වර කැඳවන බවත්, කියන අතර එම කිසිදු සාකච්ඡාවකට චම්පික රණවක මහතා සහභාගී කර නොගන්නා බව ද කියති.

පක්ෂයේ වැඩ කටයුතු හිතුවක්කාර ලෙස තනිව මෙහෙයවන බවට චෝදනා එල්ල වීමෙන් පසුව මෑතක දී සජිත් ප්‍රේමදාස මහතා උපදේශක මණ්ඩලයක් ලෙස කිහිප දෙනෙකු පත්කරගනු ලැබ ඇත. රන්ජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක සහ ඉමිතියාස් බකීර් මාකර් මහත්වරුන් උපදේශක මණ්ඩලය ලෙස කැඳවා සාකච්චා කොට ඇත. ඊට අමතරව හරීම් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ද පුළුල් සාකච්චා සඳහා සහභාගී කරවාගෙන ඇත. පක්ෂය දැන් මුහුණ දී තිබෙන අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය එම සාකච්ඡාවල කතා බහට මාතෘකා වී තිබේ.

තම පක්ෂය වන ජාතික හෙළ උරුමයෙන් රණවක මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දෙසැම්බරයේ ඉල්ලා අස්වූයේ රණවක මහතාට සමගි ජන බලවේගයේ ඉහළ තනතුරක් හිමිවන්නේ ය යන අපේක්ෂාවෙනි. එහෙත් පොරොන්දු වූ පරිදි එබඳු තනතුරක් රණවක මහතාට නොලැබිණි.

රණවක මහතාට දැන් හිමි වී ඇත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය පමණකි.

පක්ෂයේ මාධ්‍ය සාකච්ඡා සඳහා ද රණවක මහතා සහභාගී කර නොගන්නා අතර ඒ මහතා වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වා තම අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *