ජනාධිපතිගේ පල් බොරුවක තරම ඇමති ජී එල් හෙළිකරයි

මෙරට පාසල් 10,000 කට අධිවේගී අන්තර් ජාල පහසුකම් ලබා දී ඇතැයි ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ ජාතිය අමතා කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා  ඊයේ මාධ්‍ය අමතා කළ ප්‍රකාශයක් මගින් තහවුරු කළේ ය.

අධ්‍යාපන ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කළේ පාසල් සිසුන්ට අන්තර් ජාල පහසුකම් ලබාගත හැකි ස්ථාන 2000 ක් සඳුදා සිට ක්‍රියාත්මක කොට ඇති බව යි.  අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශය අනුව තවමත් ඒවා ස්ථාපනය කොට නැත.

අන්තර් ජාල පහසුකම් සහිත එම ස්ථාන ලබන සඳුදා  සිට විවෘත කරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා කියයි.

මහින්දෝදය විද්‍යාගාර,පාසල්, පන්සල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතව එම අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන පිහිටුවා තිබෙන බව ද ඇමැතිවයා පවසා ඇත.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් මෙම ස්ථාන හඳුනාගෙන තිබෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපතිතුමා ජාතිය අමතා කීවේ පාසල් 10,000 කට අධිවේගී අන්තර් ජාල පහසුකම් සපයා ඇති බවයි.

ඇමතිවරයාගේ ප්‍රකාශය අනුව දැනට එබඳු කිසිදු පහසුකමක් සපයා නැති අතර මහින්දෝදය විද්‍යාගාර,පාසල්, පන්සල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතව ස්ථාන 2000 කට අන්තර් ජාල පහසුකම් ලබා දෙන්නේ ද ලබන සඳුදා සිට ය.

මෙරට ඇත්තේ පාසල් 10,165 ක් වන අතර එයින් 1,439 ක් ළමයින් 50 කට අඩු කුඩා පාසල් ය. එම පාසල්වල අධ්‍යන කටයුතු මෙම මාසය තුළ ආරම්භ කරන බව ඇමතිවරයා කියයි.

ළමයින100 ට අඩුවෙන් සිටින තවත් පාසල් 1,523 ක  අධ්‍යාපන කටයුතු දෙවන වටයේ ආරම්භ කරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.

මෙම කුඩා පාසල් වලට අධිවේගී අන්තර් ජාල පහසුකම් තබා දුරකථන පහසුකම් පවා නැත.

මෙයින් පෙනෙන්නේ ජනාධිපතිගේ කතාවේ අඩංගු එක බොරුවක තරම ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *