ජේ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධව මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරයක් සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිවරය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ . මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකමුතුව එමගින් පිලිස්ප්ස්තිවරයාගෙන් ඉල්ලා සිටියි.

එම ලිපිය පහත දැක්වෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී

තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධවයි.   

පොලිස්පතිතුමනි,              

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (01) ඔහුට අනියම් ආකාරයට කර ඇති තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුවේ දැඩි අවධානය යොමු වී ඇත.

අදාළ ප්‍රවෘත්තිය සඳහන් ෆේස්බුක් පෝස්ටුව – https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748

 

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටී. මාධ්‍යවේදියා මෙහිදී තමන් ලියන ලද අසත්‍ය පුවත් මොනවාදැයි විමසා සිටියද, ඊට නිශ්චිත පිළිතුරක් දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දී නැත. එක් අවස්ථාවකදී පමණක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් පිළිබඳව ඔහු සඳහන් කරයි.

 

තරිඳු ජයවර්ධන ප්‍රධාන කර්තෘ ධුරය දරන www.medialk.com පුවත් වෙබ්අඩවිය එම ප්‍රවෘත්තිය සඳහන් කර ඇති ආකාරය – https://medialk.com/archives/5653

 

එම ප්‍රවෘත්තියේ මූලාශ්‍රය වන්නේ 2021 ජුනි 29දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තරිඳු ජයවර්ධන යොමුකරන ලද ප්‍රශ්නයකට ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදුන් පිළිතුරයි.

 

මෑත කාලීන සිදුවීම් දෙස බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති ‘Borumai kiyanne soba dhahama jayagani – Aniwarwen see prbakaran and other Criminals’ යන ප්‍රකාශය ඇතුළත් ප්‍රතිචාර දැක්වීමෙහි  බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බව බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි විශ්වාස කරමු.

 

එසේම,  අසත්‍ය පුවත් පළකරන ලද බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රැඳවුම් භාරයේ සිටින බහුතරයකට එරෙහිව විධිමත්ව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකිරීමක් සිදුව නැති පසුබිමක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

 

 

 

 

 

…….දෙවැනි පිටුවට

 

ස්තූතියි.

 

මෙයට,
විශ්වාසී,

මාධ්‍ය සංවිධාන එකතුව වෙනුවෙන්

 

 

ධර්මසිරි ලංකාපේලි,

ලේකම්,

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

 

 

 

සීතා රංජනී,

කැඳවුම්කරු,

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 

දුමින්ද සම්පත්,

සභාපති,

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

 

 
එන්.එම්.අමීන්,

සභාපති,

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

 

 
කනපතිපිල්ලේ සර්වානන්ද

ලේකම්

දෙමළ මාධ්‍ය සංසදය

 

 
ඉඳුනිල් උස්ගොඩ ආරච්චි,

ලේකම්,

ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

 

 

 

 

 

පිටපත් –

1)      සභාපති- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *