පළාත් පාලන ආයතනවලට එජාප නවක මන්ත්‍රිවරු 69ක් නායක රනිල් ඉදිරියේ හෙට දිවුරති ; එජාප පළාත් පාලන නියෝජනය තහවුරු කර ගනියි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් ලෙස පත් වී සිට සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරු හෙට(28) සඳුදා සිය ධුර වල දිවුරුම් දෙති.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ නායකයින් සහභාගී වන කෙටි උත්සවයක දී ය. පවතින කොවිඩ්  තත්ත්වය නිසා එය සෞඛ්‍යාරක්ෂණ නීති අනුව පැවැත්වෙනු ඇත.

මෙම දිවුරුම් දීම පසුගිය 22 දාට යොදාගෙන තිබු නමුත් කොවිඩ් තත්ත්වය නිසා කලතබනු ලැබීය.

පළාත පාලන ආයතන නියෝජනය කරන එජාප නියෝජිතයින් 2500 ක පමණ ප්‍රමාණයෙන් 750 ක පමණ පිරිසක් පසුගිය මහා මැතිවරණයේ දී විවෘතව සමගි ජන බලවේගයට සහය දුන් බව කියති. පසුව එයින් වැඩි පිරිසක් පක්ෂ විනයට එකඟ වන බවට දිවුරුම් පෙත්සම් ලබා දී පක්ෂයට එකතු වී ඇත. එම පිරිසට සමාව දී පක්ෂයට ඇතුළත් කරගත් බවත්, එසේ ආපසු පැමිණීමට එකඟ නොවූ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කළ බවත් එජාප ආරංචි මාර්ග කියයි.

එලෙස පක්ෂයට නැවත එක්වීමට අකමැති වූ පිරිසක්  සමගි ජන බලවේගයට එක් වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 69දෙනකු පක්ෂයෙන් නෙරපූ අතර ඔවුන් වෙනුවට මෙම සභිකයින් පත්කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය .ඊට අමතරව ඉල්ලා අස් වූ මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට ද, නවක සභිකයන් පත් කරන බව රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත.

පක්ෂ පාලනයෙන් ගිලිහී තිබු පළාත් පාලන ආයතන සියල්ල සහ සභිකයින් සියලු දෙනා නැවත පක්ෂයට ලබා ගැනීමට මෙලෙස කටයුතු කොට තිබේ.

හෙට සිදුවන දිවුරුම් දීමත් සමග එම කටයුතු බොහෝ දුරට සම්පුර්ණ වන බව කියති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *