ජනාධිපති ජාතිය ඇමතීමේ පට්ටපල් බොරු ; ගෞරවයටත් හානියක් !

 

ජනානධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ඊයේ කළ කතාවේ බරපතළ අසත්‍ය ප්‍රකාශ අඩංගු බවටත්, එය රටේ ජනාධිපතිගේ ගෞරවයට පවා හානිකර බවටත්, විවේචන එල්ල වෙමින් පවතියි. මෙම ඇතැම් අසත්‍ය ප්‍රකාශ සාමාන්‍ය ජනයා හොඳින් දන්නා කරුණු මගින් අසත්‍ය බව තහ වුරු වන ප්‍රකාශ වීම ජනාධිපතිතුමාගේ ගෞරවය බිඳ වැටීමට ප්‍රබල සාධක බවට පත්විය හැකි බව කියති.

කොවිඩ් විපත හමුවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය අන්තර් ජාලය මගින් සාර්ථකව කරගෙන යාමට ක්‍රියා කළ බව එබඳු එක ප්‍රකාශයකි. එසේ වුව ද, මෙරට පාසල් දරුවන් මෙන් ම මව් පියන් ද , දන්නා කරුණක් නම් මෙම ක්‍රමය සඳහා ප්‍රමාණවත් පහසුකම් නැති බැවින්, එය බරපතළ ලෙස අසාර්ථක වී ඇති බව යි. ස්වාධීන සමීක්ෂණ අනුව මෙම ක්‍රමයට කිසියම් හෝ අධ්‍යාපනයක් ලබන්නේ පාසල් සිසුන් අතරින් සියයට 45 ක් පමණකි. සියයටන් 50 කට කිසිදු අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත.

මේ රටේ සිසුන් සංඛ්‍යාව ලක්ෂ 45 ක් නිසාත්. සෑම පවුලක ම පාහේ පාසල් යන සිසුන් සිටින නිසාත්, අධ්‍යාපනයේ සිදු වී ඇති බිඳ වැටීම සමස්ත ජනතාවට ම දැනෙන ප්‍රශ්නයකි. එබැවින් ඒ පිළිබඳව කෙරෙන අසත්‍ය ප්‍රකාශ ජනතාවට වහා ම හඳුනාගත හැකි වෙයි.

මෙරට පාසල් 10,000 කට අධිවේගී අන්තර් ජාල පහසුකම් සැපයීමට රජය ක්‍රියාකළේ යයි කීම තවත් බරපතල අසත්‍යයකි. මෙරට ඇති සමස්ත පාසල් සංඛ්‍යාව 10,165 කි. ජනාධිපතිතුමාගේ කතාව අනුව ඉන් පාසල් 165 කට හැර අනෙක් සියලු පාසල්වලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දී තිබිය යුතු ය. එසේ වුව ද, සැබෑ තත්ත්වය නම් පාසල් අති බහුතරයකට අධිවේගී අන්තර්ජාල පහසුකම් තබා සාමාන්‍ය දුරකථන පහසුකම් පවා නොමැති වීම යි. බහුතර පාසල් සංඛ්‍යාවකට අධිවේගී ෆයිබර් ඔප්ටික් පහසුකම් දීමේ හැකියාව ද අපේ දුරකථන ජාලයට තව ම නැත.

මෙබඳු අසත්‍ය ප්‍රකාශ ගණනාවක් ජනාධිපතිතුමාගේ කතාවේ ඇති බව පෙන්වා දෙන නිරීක්ෂකයින් කියන්නේ එම ප්‍රකාශ නිසා සමස්ත කතාව ම ගැන පිළිගැනීම බිඳ වැටෙන බව යි. එය රටේ ජනාධිපතිතුමා ලෙස පවත්වා ගත යුතු ගෞරවයට ද හානියකි.

නිරීක්ෂකයින් කියන්නේ මෙම තත්ත්වයට ජනාධිපති උපදේශකයින් සහ මාධ්‍ය අංශය වග කිව යුතු බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *