ජනාධිපතිතුමාගේ කතාවේ පොරොන්දු ඉටු කළ හැකි දැයි සැකයි – ‘දෙරණේ’ චතුර අල්විස්

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ඊයේ කළ කතාව මගින්, ජනතාවට බලාපොරොත්තු ලබා දීමට කළ උත්සහයක් දකින්නට ලැබෙන නමුත්, එම පොරොන්දු ඉටු කළ හැකි දැයි සැක සහිත බව, බොහෝ විට රජයට පක්ෂව කරුණු ඉදිරිපත් කරන ‘දෙරණ’ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවට කඩේ යන මාධ්‍යවේදියකු ලෙස අන්තර් ජාලයේ ඇතැම් පිරිස්වල විවේචනයට පවා ලක්වන චතුර අල්විස් මාධ්‍යවේදියා අද උදෑසන ‘දෙරණ අරුණ’ වැඩ සටහන ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ කතාව තාක්ෂණික වශයෙන් පවා විශාල අඩුපාඩුකම් සහිත එකක් වූ බව යි.

ජනාධිපතිතුමාගේ ඊයේ කතාවේ ප්‍රධාන පොරොන්දුවක් වූ සැප්තැම්බර අවසන් වන විට මෙරට මිලියන 13 ක ජනතාවකට එන්නත් ලබාදෙන බවට වූ පොරොන්දුව, මේ යන ආකාරයට නම් කෙසේවත් ඉටු කළ නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

සැප්තැම්බර් අග දක්වා අද සිට ගණන් බැලුව ද ඇත්තේ දින 90 ක් බවත්, ඒ අනුව එම ඉලක්කය සපුරා ගැනීමට සෑම දවසක ම එන්නත් එක ලක්ෂ එකොලොස් දහසක් ලබාදිය යුතු බවත්, කී අල්විස් මහතා, පසුගිය කාලයේ එක දිනක පමණක් එන්නත් 132,000 දුන් බව වාර්තා වුව ද, පසුව එය 22,000 දක්වා අඩු වූ බව ද, පෙන්වා දුන්නේ ය. එමෙන් ම, දැනටමත් අතේ ඇති බව කියන එන්නත් මිලියනය ඉක්මනින් දීමට මුලින් ම කටයුතු කළ යුතු බව ද, ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

චතුර අල්විස් මාධ්‍යවේදිය කීවේ ජනාධිපතිතුමා කියන ඉල්ලක්ක කරා යා යුතු බව සහ එසේ කරන්නේ නම් දැන් තිබෙන මන්දගාමී වැඩ සටහන් වෙනස් කොට, කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත් ය.

කතාවේ පටිගත කිරීම්වල පවා ප්‍රශ්න ඇති බව කී දෙරණ මාධ්‍යවේදියා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ඡායාරූපයේ තිබු පසුබිම පටිගත කළ කතාවේ නොතිබූ බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක් විවේචනය කරන අතර තුර චතුර අල්විස් මහතා, ජනාධිපතිතුමාගේ පසුගිය ජාතිය ඇමතීමේ තිබු පොරොන්දුවක් ද මතක් කළේ ය. එනම්, පාරිභෝගික ජනතාවට සැමන් සහ පරිප්පු අඩු මිලට ලබා දෙන බවට වූ පොරොන්දුව යි.

කෙසේ වෙතත්, එම පොරොන්දුව ඉටු නොවූ බව චතුර අල්විස් මාධ්‍යවේදියා ප්‍රකාශ කළේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *