බඩඉරිඟු ආනයන තහනමෙන් වූ හානිය මකන්න ආණ්ඩුව තිරිඟු ගෙන්වන්න තීරණය කරයි !

බඩඉරිඟු ආනයනය තහනම් කිරීමෙන් ඉහළ ගොස් ඇති කුකුළු මස් සහ සත්ව නිෂ්පාදන මිල පාලනය කිරීම සඳහා තිරිඟු ආනයනය කිරීමට රජ තීරණය කොට ඇත.

රජය පසුගිය වසරේ බඩඉරිඟු ආනයනය තහනම් කිරීම නිසා බඩඉරිඟු මිල සහ සියලු සත්ව ආහාර මිල විශාල ලෙස ඉහළ ගියේ ය. කුකුළු මස් කිලෝවක මිල රුපියල් 400 සිට මේ වනවිට 650 දක්වා මිල ඉහළ ගොස් තිබේ. රජය කුකුළු මස් කිලෝවක් සඳහා රුපියල් 430 ක පාලන මිලක් පනවා තිබුණ ද එම මිලට මස් ලබාදිය නොහැකි බව නිෂ්පාදකයෝ කියති.

බිත්තර මිල ද ඉහළ ගොස් තිබේ.

මෙම මිල ඉහළ යාමත් සමග පරිභෝජනය අඩු වීම නිසා වෙළෙඳපොළ අහිමිවීම තවත් බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි කියති.

කිරි ඇතුළු අනෙකුත් සත්ව නිෂ්පාදන කෙරෙහි ද මෙම තත්ත්වය බල පා තිබේ.

රජය තිරිඟු ආනයනය කිරීමට තීරණය කොට ඇත්තේ මෙම තත්ත්වයට විසඳුමක් වශයෙනි.

එයින් සත්ව ආහාර මිල අඩු වී කුකුළු මස් ඇතුළු සත්ව නිෂ්පාදන මිල යලි අඩුවනු ඇති බව රජය අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, බඩඉරිඟු ආනයනයට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය කටයුතු කොට නැත.

මේ අතර රජයේ ප්‍රබලයින්ගේ හිතවතෙකු වන නිශ්ශංක සේනාපති මහතාට බඩඉරිඟු වගාව සඳහා රජයේ රක්ෂිත ඉඩම් අක්කර 5000 ක් ලබා දී ඇති බව ද පසුගිය කාලයේ වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *