රජ අණින් සිල් ගැන්වීම – නිශාන්ත කමලදාස
බුදුන් වහන්සේ බොහෝ රජවරු ඇසුරු කළ කෙනෙකි. එහෙත් ඒ මිත්‍රත්වය කිසිදා අපහරණය නොකළ කෙනෙකි.
පන්සිල් පහ පැනවූයේ මිනිසුන්ට ය. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අංශයේ පිහිට උන්වහන්සේ පැතුවේ නැත. මිනිසුන්ට බලෙන් සිල් ගන්වන්නට වුවමනාවක් බුදුන්ට තිබුණේ නැත. සිල් ගත් අයට ඉගැන්වූයේ නිහතමානී වන ලෙස ය. උස් ආසන මහා ආසන නොසොයන ලෙස ය. සෙස්සන් සමග එකට සිටින ලෙස ය.
පුන් පොහොයට මත්පැන් සල් වසා තබන්නට කියා උන් වහන්සේ රජවරුන්ට පින්සෙණ්ඩු වූයේ නැත.
ගව ඝාතනය තහනම් කරන නීති ගෙන එන්නැයි කියා ගිනි තබා ගත්තේ නැත. මස් මාංශ අනුභවය පවා භික්ෂූන්ට වත් අකැප යැයි කීවේ ද නැත.
සිනමා ශාලා නෘත්‍ය ශාලා වසන්නට නියෝග කරන්නැයි කීවේ නැත. ගණිකා මඩම් වත් වසන්නට කීවේ නැත. ඒ වෙනුවට උන් වහන්සේ කළේ ගණිකාවන්ට ද ශාසනයට ඇතුළු වන්නට ඉඩ හසර සලසා දීම ය. ඔවුන්ට දහම් දේශනා කිරීම ය.
දහම් පාසල් අනිවාර්යය කරන්නට යැයි කීවේ නැත. ආගම විෂය නිර්දේශයට ඇතුළත් කරන්නට යැයි කීවේ ද නැත. පන්සල් වල නාම ලේඛන ලකුණු කරන්නට කීවේ නැත. දහම් පාසල් යන අයට විශේෂ වරප්‍රසාද දෙන්නැයි කීවේ ද නැත.
අපේ හාමුදුරුවන් බුදුන්ටත් වඩා බෞද්ධ ය. උන් වහන්සේ ලා මේ සියල්ල ම ඉල්ලති.
පුන් පොහොයට මත් පැන් විකිණීම තහනම් කර තිබීමෙන් සෑහීමකට පත් නොවන උන් වහන්සේලා දැන් ඉල්න්නේ වෙසක් සතිය හා පොසොන් සතිය පුරාම මත්පැන් ශාලා වසා තබන්නට ය. මේ සෙල්ලම අවසානයේ කොතැනින් නතර වේ දැයි සිතා ගන්නට බැරි ය.
මේ සියල්ලෙන් වන්නේ දහම විහිළුවක් වීම ය. සිල් රාජ නියෝගයක් අනුගමනය කරන තත්වයට පිරි හෙලීම ය. ආගම රජයේ කුක්කෙකු කිරීම ය.
සිල් ගන්නේ සිත පහන් කර ගැනීම සඳහා ය. සිල් රජයට ගැට ගසා ගැනීමට යෑමෙන් සිදු වන්නේ එය නිකම් ම නීතියක් වීම ය.
නිශාන්ත කමලදාස