ආණ්ඩු සමග වෙනස් නොවන එක් ජාතික ප්‍රතිපත්තියකට සියලු පක්ෂ එකඟත්වයක් අවශ්‍ය යි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මෙරට සංවර්ධනය කිරීම සඳහා අඩු තරමින් වසර දහයක් පහළවක් වත් ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්ති මාලාවකට සියලු පක්ෂවල එකඟත්වයක් ඇතිකර ගැනීම අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මාතා ප්‍රකාශ කරයි.

ආණ්ඩු වෙනස් වන විට ප්‍රතිපත්ති වෙනස් වන්නේ නම් ආයෝජකයන් රටට නොපැමිණෙන බවත්, වෙනත් රටවලට ආයෝජකයින් යන්නේ ආණ්ඩු සමග ප්‍රතිපත්ති වෙනස් නොවන නිසා බවත්, වික්‍රමසිංහ මහතා කීය.

රුපවාහිනී නාලිකාවක වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීවේ පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරියට කරන්නට යන වැඩ පිළිවෙළ කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.

ඉතිහාසයේ දැවැන්ත පරාජයකට මුහුණ දීමෙන් පසු අනාගත ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තැබිය හැකි දැයි ඇසු විට ඒ මහතා කීවේ ආසන අටට වැටී පසුව ආණ්ඩු පිහිටවූ බව සහ ආසන දහහතට බැස ඊළඟට හයෙන් පහක බලයක් ගත් බව යි.

එමෙන් ම, අද රට වේගයෙන් වෙනස් වන බව කී ඒ මහතා ඒ බව තේරුම් ගෙන වැඩ නොකළ හොත් එජාපයට නොව කිසිම පක්ෂයකට අනාගතයක් නැතිවන බව ද කීය.

මේ අතර අන්තර ජාල නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා කීවේ තමා එන්නේ විපක්ෂ නායක කම් ලබා ගන්නට නොවන බව සහ එක ආසනයක් තියාගෙන විපක්ෂ නායක වෙන්නට බැරි බව යි.

කාගේවත් ප්‍රතිරුප බිඳ දමන්නට තමන්ට අවශ්‍ය නැති බවත්, අනුන්ගේ ප්‍රතිරුප බිඳ දැමීම හෝ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම හෝ තමන් කරන්නේ නැති බවත්, වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

ඒ මහතා කීවේ තම පාර්ලිමේන්තු පැමිණීම ගැන කිසිවෙකු කලබල නොවිය යුතු බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *