මූලාශ්‍ර හෙළිදරව් කරන මෙන් මාධ්‍යවේදී සජීව විජේවීරට බලපෑම් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක් සහ මාධ්‍ය නිදහසට තර්ජනයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.


නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදී සජීව විජේවීර සිය කර්තෘත්වයෙන් පවත්වා ගෙන යනු ලබන rata.lk වෙබ් අඩවියේ පළ කළ ලිපියකට අදාල මූලාශ්‍ර හෙළි කරන මෙන් බලපෑම් කෙරෙන පැමිණිල්ලක් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ගාල්ල මූලස්ථාන පොලීසියේ ගොනු කරනු ලැබ ඇත.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කරන ලද විමර්ශනයකින් අනතුරුව පැහැදිලි වූයේ “කොරෝනා වැඩ මඟ හැර ලකුණු දමා ගන්නා දොස්තරලා” මැයෙන් පළ කරන ලද ලිපියකින් අනතුරුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා එම පැමිණිල්ල සිදු කර ඇති බවයි.  එහිදී ලිපියට පාදක වූ තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කළ ලිපියක් ලද ආකාරය පිළිබඳ විමර්ශනය කරන මෙන්ද පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.  තොරතුරු මූලාශ්‍ර හෙළිදරව් කරන මෙන් මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට තර්ජනයක් මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය තරයේ හෙළා දකී.

තොරතුරු සෙවීම, ලබා ගැනීම, ප්‍රවේශය හා ප්‍රකාශ කිරීම පිළිබඳ සඳහන් වන  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 36 වන වගන්තිය උල්ලංඝනය කිරීමට මෙම පැමිණිල්ල සිදු කිරීමෙන් රෝහල් අධ්‍යක්ෂවරයා චේතනාන්විතව කටයුතු කරන බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ, මාධ්‍යවේදී සජීව විජේවීර පුරවැසියෙකු ලෙස අදාල පනතෙන් තහවුරු කරල ලද තොරතුරු දැනගැනීම පිළිබඳ ව්‍යවස්ථාපිත අයිතිය භාවිතා කොට ඇති බවයි.

එමෙන්ම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 40 වැනි වගන්තියට අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, රෝහල් අධ්‍යක්ෂවරයා අකටයුතු නාදකයන්ගේ ආරක්ෂාව තර්ජනයට භාජනය කර ඇති බවද පෙන්වා දෙයි.  එම වගන්තියට අනුව, “පොදු අධිකාරියක නිලධාරියෙකු, හෙළිදරව් කිරීමට අවසර ඇති තොරතුරක් හෙළිදරව් කිරීම නිසා විනයානුකූල හෝ අන්‍යාකාර දඬුවමකට යටත් නොවිය යුතුය”. අදාල තොරතුරු ලද මූලාශ්‍ර හෙළිදරව් කරන මෙන් පොලිස් පැමිණිල්ලෙන් ඉල්ලා සිටීම තුළ ලිපිය ලබා දුන් අකටයුතු නාදකයා හෙළිදරව් වීම එම තැනැත්තාගේ ආරක්ෂාවද අනතුරේ හෙලීමකි.

මෙවැනි ව්‍යසන සමයක අධිකාරීවාදී ප්‍රවේශයන්ගෙන් සිදු වන සියලු කාර්යයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට සැළැස්වීම පොදු යහපත සඳහා හේතු වන බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදී සජීව විජේවීර පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් ලෙස දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකියි.

 

සීතා රංජනී     

කැඳවුම්කරු                                                             

ලසන්ත ද සිල්වා

ලේකම්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *