පොහොර තහනමේ විනාශය සිදු කළොත් යළි ගොඩගන්න බැහැ – ප්‍රධාන කෘෂි විද්වත්හු ගණන් හිලවු ඇතිව ජනාධිපතිට ලියති.

ආණ්ඩුව ක්‍රියාත්මක කොට ඇති පොහොර තහනම නිසා කෘෂිකාර්මික වග රාශියක අස්වනු විශාල ලෙස අඩුවනු ඇති බවත්, ඇතැම් අංශ සම්පුර්ණයෙන් විනාශ වන බවත්, ඇතැම් අංශවල සිදුවන හානිය කිසි ලෙසකින් ආපසු හැරවිය නොහැකි බවත්, දිවයිනේ ප්‍රධාන කෘෂි විද්‍යාඥයෝ පිරිසක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් කරුණු දක්වති.

එක් එක් වගාවට සිදුවිය හැකි හානි ගණනය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, තේ වගාව සියයට 50 ක් දක්වා ද ,වී සියයට 30 -35 කින් ද, ඉරිඟු සියයට 50 ක් දක්වා ද, අර්තාපල් සියයට 30 -50 ක් ද, උක් සියයට 30-40 කින් ද, කුරුඳු සියයට 25 කින් ද, බුලත් සියයට 20 කින් ද, උඩරට එලවළු සියයට 30 – 50 කින් ද , අස්වනු අඩු වනු ඇති බව යි.

විදෙස් වෙළෙඳපොල සඳහා කෙරෙන විසිතුරු කොළ වගාව මෙන් ම , හරිතාගාරවල කෙරෙන කෘෂිකර්මය ද සම්පුර්ණයෙන් හෙවත් සියයට සියයක් විනාශ වනු ඇති බව ද , ඔවුහු කියති.

සාදික්කා, වැනිලා, කරාඹු නැටි, කරඳමුන්ගු ආදිය අඩු හානි සිදුවන වගා ලෙස ඔවුන් හඳුනාගෙන ඇත. එමෙන් ම, ගම්මිරිස්, කෝපි සහ කොකෝවා, වගාවන්ට වන හානිය වලකා ගැනීමේ හැකියාව ඇත.

කෙසේ වෙතත්, ප්‍රධාන අහාර භෝගයක් වන වී සහ ප්‍රධාන අපනයනයක් වන තේ වගාවට සිදුවන හානිය බරපතළ බව මෙම විද්වත්හු අවධාරණය කරති.

විශේෂයෙන් ම තේ වගාව් පහත වැටී වෙළෙඳපොළ අහිමි වුවහොත්, ලෝක වෙළෙඳපොළේ පවතින දැඩි තරඟය හමුවේ එය යලි අත්පත් කර ගැනීම අපහසු ය. 2015 දී , ග්ලයිපොසේට් තහනම නිසා අපට රුපියල් බිලියන 15 -20 ක වෙළෙඳ පොළක් අහිමි වූ බවත්, එය යලි අත්පත් කර ගැනීමට නොහැකි වූ බවත්, මෙම විද්වත් කණ්ඩායම ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

දිවයිනේ ප්‍රධාන පෙලේ කෘෂි විද්‍යාඥයන් තිස් දෙනෙකු පමණ මෙම ලිපියට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. විශ්ව විද්‍යාල මහාචාර්යවරු මෙන් ම කෘෂි පර්යේෂණ ආයතනවල ප්‍රධානීහු ද ඒ අතර වෙති.

CHART – Daily FT

ඩේලි එෆ් ටී ඇසුරෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *