යුරෝපා සංගමයේ ජී එස් පී තර්ජනයෙන් ආණ්ඩුව පසුබසී ! ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවත් කියයි.

යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීමේ කොන්දේසි බොහොමයක් ශ්‍රී ලංකා රජය ඉටුකොට ඇති බවත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනත් රටවල ක්‍රියාත්මක එවැනි පනත් හා ගැලපෙන ආකාරයෙන් සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට රජය කැප වී සිටින බවත්, ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය වෙත ලිපියක්  යවමින් ප්‍රකාශ කොට ඇත.

ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත සංශෝධනය කිරීම සඳහා වෙනත් රටාවල ත්‍රස්තවාදයට එරෙහි නීති ගැන අධ්‍යයනය කරන බවත්, ඒ අනුව මෙම නීතිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, ආණ්ඩුව යුරෝපා සංගමයට සහතික වී ඇත.

මෙම නීතිය විරුද්ධවාදීන් මර්දනයට යොදාගන්නා බව යුරෝපා සංගමයේ එක චෝදනාවකි. එයට පිළිතුරු දෙමින් රජය සිය ලිපියෙන් කියා ඇත්තේ මෙම නීතිය යොදාගන්නේ ත්‍රස්තවාදය මර්දනයට බව යි. මෑත දී එය යොදා ගැනීමට සිදුවුයේ 2018 අප්‍රේල් මාසයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා බව රජය කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව කියන්නේ එය මේ රටේ බහුතර ජනයා මැතිවරණයෙන් ලබා දුන් ජනවරම අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් බව යි.

ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීමේ දී, ශ්‍රී ලංකාව එකඟ වී ඇති පනත් 27 ක් ක්‍රියාත්මක කිරීමේ දී, ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, ඒ පිළිබඳව යුරෝපා සංගමය කරන සියලු සමාලොචනවලට ශ්‍රී ලංකාව සහභාගී වී ඇති බවත්, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට දිගට ම කැප වී සිටින බවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය යුරෝපා සංගමය වෙත යවා ඇති දිගු ලිපියේ සඳහන් ය.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම යුරෝපා පාර්ලිමේන්තුවේ ධුත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට රජය බලාපොරොත්තු වන බව විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබිණි.

මේ අතර, මහ බැංකුවේ අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කොට තිබුණේ ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *