මාර්ගගත මත්පැන් අලෙවි තීරණයත් රිවස් වෙයි

මාර්ගගත ක්‍රමයට මත්පැන් නිවෙස්වලට ලබාදීමට අවසර දීමේ රජයේ තීරණය අවලංගු කොට ඇති බව වාර්තා වෙයි.

මෙම යෝජනාවට අනුමැතිය ලැබුණු බව සුරාබදු කොමසාරිස්වරයා ඊයේ ප්‍රකාශ කළ අතර මුදල් අමාත්‍යාංශය එය තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කොට තිබිණි.

කෙසේ වෙතත්, මේ වනවිට රජය එම තීරණය අවලංගු කොට ඇති බව වාර්තා වෙයි. රජයේ මෙම තීරණයට හේතුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එයට විරෝධය ප්‍රකාශ කොට තිබීම බව කියති.

ඒ අතර, සංචාරක හෝටල්වල මත්පැන් අලෙවියට දිගට ම අවසර ලබා දී ඇත. ඒ ආනුව මෙරට ඉහළ පන්තියේ ජනයට මත්පැන් ලබාගැනීමේ ගැටළුවක් නොමැති බව කියති.

අනෙක් අතට කසිප්පු නිෂ්පාදනය සහ අලෙවිය ඉහළ ගොස් ඇති බවත්, නිවෙස්වල මත්පැන් පෙරීම ද සිදුවන බවත්, සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ඔවුන් කියන්නේ සිදු වී ඇත්තේ රජයේ ආදායම් අහිමිවීම පමණක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *