අගමැති රනිල්ට චීනයේ ඉහළම උත්තමාචාර

0b60a6ab9265fa6764c3e03e79163717_Mශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය නායකයකුට දෙන ඉහළම උත්තමාචාර දී පිළිගැනීමට චීන රජය කටයුතු කොට ඇත . ඒ මහතා සදහා කාලතුවක්කු වෙඩිමුර 19ක් ලබා දී ආචාර කිරීමක්ද සිදුකොට තිබේ .

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා බෙයිජිං නුවර මහජන මහා ශාලා පරිශ්‍රයේ හමුදා උත්තමාචාර පිරිනැමීමේ උළෙල විචිත්‍රවත් හා ගාම්භීර අන්දමින් පැවැත්විණි.

මහජන මහා ශාලා භූමිය චීන ජාතික ධජ වලින් සරසා අලංකෘත කර තිබුණු අතර, තියන්අන්මාන් චතුරශ්‍රය අවට මහා මාර්ග ශ්‍රී ලංකා සහ චීන ජාතික ධජ වලින් සරසා තිබිණි.

වික්‍රමසිංහ මහතා නවාතැන් ගෙන සිටින චයිනා වර්ල්ඩ් හෝටලයේ සිට මහජන මහා ශාලාව දක්වා කැඳවාගෙන එනු ලැබූයේ අලංකාර රථ පෙළපාලියකිනි. පෙරගමන් රථ පෙළකින් හා පෙර ගමන් මෝටෝසයිකල් දහයක් පෙරටු කර ගත් රථ පෙළපාලිය ගමන් ගත් මග දෙපස දැඩි ආරක්‍ෂක විධි විධාන සලසා තිබුණු අතර මහා මාර්ගයේ මං තීරු දෙකක් රථ පෙළපාලිය සඳහා සම්පූර්ණයෙන්ම වෙන් කර තිබිණි.

මහජන මහා ශාලා භූමියට වික්‍රමසිංහ මහතා පැමිණෙද්දී පිළිගනු ලැබූයේ චීන මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා විසිනි. මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය.

අනතුරුව පිළිගැනීමේ උළෙලට පැමිණ සිටි චීන අමාත්‍යවරුන් වික්‍රමසිංහ මහතාට සහ වික්‍රමසිංහ මහත්මියට හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා දූත පිරිස චීන අග්‍රාමාත්‍යවරයාට හඳුන්වා දෙන ලද්දේ ඉන් පසුවය. විශේෂ අමුත්තන් සිටි කලාපය දෙපස චීන සහ ශ්‍රී ලංකා ජාතික කොඩි දෙකක් ඔසවා තිබිණි.

අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා විසින් වික්‍රමසිංහ මහතා රතු පලස මතින් විශේෂ පීතිකාව වෙත කැඳවාගෙන යාමත් සමඟ හමුදා උත්තමාචාරය ඇරඹිණි. දෙරටේ ජාතික ගීත වාදනය වෙද්දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 19 ක් පවත්වන ලදී.

ඉන් අනතුරුව ආචාර පෙළපාලිය පරීක්‍ෂා කිරීම සඳහා අණදෙන නිලධාරියා විසින් ආරාධනා කළ අතර, අගමැතිවරු දෙපල ආචාර පෙළපාලිය පරීක්‍ෂා කළහ. හමුදා ගෞරවාචාරය ඉතා අභිමානවත් අන්දමින් පැවැත්වූ අතර, දේශීය හා ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීහු රැසක් මේ අවස්ථාව ආවරණය කිරීමට සහභාගී වුහ .

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *