පොහොර හිඟය නිසා ඉදිරියේදී දැඩි ආහාර හිඟයක්. දුප්පත් ජනතාව අර්බුදයට – කෘෂි විද්වත්හු අනතුරු හඟවති !

රට තුළ පවතින පොහොර හිඟය නිසා යල කන්නයේ අස්වනු අඩුවීමෙන් ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ඇතිවනු ඇති බවට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන්  අනතුරු හඟවා තිබේ.

යල කන්නයේ අස්වැන්න දැන් අපට මාස කිහිපයක් තුළ ලැබෙනවා. ඒ අස්වැන්න අඩුවීම තුළ මේ රටේ විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව ඉතාමත් පැහැදිලියි. මේ ආහාර හිඟයට අමතරව ආහාරවල මිල ඉතා දැඩි ලෙස ඉහළ යාමට මුහුණ දීමට නියමිතයි. මේ ආහාර මිල ඉහළ යාම තුළ මේ රටේ දුප්පත් ජනතාවට ආහාර වේල සපයා ගැනීමේදී විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි අපි දැනට වසංගතයකට මැදිවෙලා ඉන්නෙ, මේ වසංගතය අතරේ මේ අවස්ථාවේදී ආහාර හිඟයක් ඇතිවීම තුළින් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා ඇති” යනුවෙනුයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පැවසුවේ.

ඒ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම ආයතනයේ සංස්කාරක මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා :

ලෝකයේ ගෝලීය වශයෙන් අරන් බැලුවොත් එහෙම මෙවැනි කර්තව්‍යකට මූලිකව අවතීර්ණ වුණේ භූතාන රජය. නමුත් 2018 වෙනකොට ඔවුන්ට තේරුණා ඔවුන් ආහාර ආනයනය කරන රටක් බවට ක්‍රමයෙන් වැඩිදුරටත් පත්වෙමින් පවතිනවා කියලා. ඔවුන් තමන්ගේ අවශ්‍ය සහල් වලින් 63%ක පමණ ප්‍රමාණයක්, අවශ්‍යවන බඩ ඉරිඟු වලින් 21%ක් පමණ ප්‍රමාණයකුත් ඒවගේම අවශ්‍ය වන එළවලු වලින් 23%ක පමණ ප්‍රමාණයකුත් ආනයනය කරන තත්වයට පෙළඹිලා තියෙනවා. මතක තියාගන්න නිෂ්පාදකයා වගේම පාරිභෝගිකයාත් මේ සමස්ත ජනතාවට කුසගින්න කියන එක දැනෙන දවස වැඩි ඈතක නෑ. මිලියන 21.8ක් පමණ වූ පාරිභෝගිකයින් දිහා බැලුවොත් එහෙම ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් මුදල් දීලා හරියන්නෙ නෑ ඔවුන්ට. අපට ඔවුන්ට ආහාරයි සපයන්න වෙන්නෙ. සහල්වත් ආනයනය සඳහා විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙයි.

අපි මොන ප්‍රභවය වුණත් – රසායනික වුණත් කාබනික වුණත් – ශාඛයට පෝෂණය අවශ්‍යයි. ඒ පෝෂණය අවශ්‍ය අවස්ථාවෙ අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙන්න බැරිවුණොත් එහෙම මේ කෘෂිකර්මාන්තයෙන් අපට අවශ්‍ය කරන අස්වැන්න ගන්නට වෙන්නේ නැත ! ඒක තමයි සත්‍යය. ඒක තමයි පිළිගත් විද්‍යාත්මක සත්‍යය. ආහාර සුරක්ෂිතතාව කියන්නෙ ජාතික ආරක්ෂාව. ඒ ජාතික ආරක්ෂාව අපි නැති කරගත්තොත් එහෙම අපට මේ තියෙන ආර්ථික ක්‍රමයේ වැඩිදුර යන්න බැරිවේවි” යනුවෙන් ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම ආයතනයේ සංස්කාරක මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LANKANEWSWEB

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *