ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුව ම යි – ඇමති උදය ගම්මන්පිල

ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ  ජනාධිපති, අගමැති, ප්‍රමුඛ ආණ්ඩුව  විසින් බවත්  , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකඟතාව ලැබී කියයි

තමා මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැමිණියේ අගමැතිතුමාගේ නියෝජිතයා විදියට බව ද ඇමතිවරයා සඳහන් කරයි

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්ධන මිල ඉහළ නංවන්නට සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

සාගර කාරියවසම් මහතා මෙම නිවේදනයෙන් පහර දී ඇත්තේ තමාට නොව එතුමාගේ පක්‍ෂයෙන් බිහි කළ එකම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා එහි සදාදර නායක මහින්ද රාජපක්‍ෂ මහතාට යැයි ද ගම්මන්පිල මහතා කීවේය.

ඉතිහාසය පුරා තෙල් මිල වැඩිකළේ මුදල් අමාත්‍යාංශය බව කී ගම්මන්පිල මහතා එය ප්‍රකාශයට පත්කිරීමේ අවදානම් කාර්යය තමා ස්වේච්ඡාවෙන් භාරගත්තේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය නිසා යැයි ද හෙතෙම පැවසීය.

බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ තමා බව ඔප්පු කළ හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි තමා සාගර කාරියවසම් මහතාට ආරාධනා කරන බව කී ඇමතිවරයා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පහර ගැසීමට තරම් බලයක් ඔහුට දුන්නේ කවුරුන්ද යන්න සොයාබැලිය යුතු බව ද සඳහන් කළේය.

(ඩයනා උදයංගනී)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *